ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා : ගමේ ආර්ථිකය ශක්තිමත් කරනවා - අගමැති 

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා : ගමේ ආර්ථිකය ශක්තිමත් කරනවා - අගමැති 

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ග්‍රාමීය ජනතාවගේ අතට වැඩිපුර මුදල් ලැබෙන බවත්  ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශවල මුදල් පරිහරණය වැඩිවී යටිතල පහසුකම් මෙන්ම ගමේ ආර්ථිකය ශක්තිමත් කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (15) නිකවැරටියේ පැවති ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

නව සංවර්ධනය ක්‍රියාදාමය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල වැව්, අමුණු ප්‍රතිසංස්කරණය හා මංමාවත් ඉදිකිරීම ඇතුළු සෙසු සංවර්ධන කටයුතු ඉටු කරලීමේ වගකීම් ප්‍රදේශයේම ජීවත්වන අයට ලැබෙන බවත් ඒ හරහා ද ගමට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උත්සවය නිකවැරටිය, මඩත්ත වැව තාවුල්ලේදී අද ආරම්භ කළ අතර, එහිදී මඩත්ත වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබීය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබාදීම සඳහා නිකවැරටිය නගරයේ ලංකා බැංකුව හා මහජන බැංකු දෙකෙහි නව කාර්යාල දෙකක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, ණය ඉල්ලූම්කරුවන්ට සංකේතාත්මකව ණය ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය බස් නැවතුම්පොළේදී අද පැවැත්විණි.

ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව සභාව අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අද අප ආරම්භ කරන ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් නිකවැරටියට පමණක් සීමා වන්නේ නැහැ. මේ වැඩසටහන් ලංකාවේ සෑම ගමකටම ගෙන යෑමට අප සැලසුම් කර තිබෙනවා. මෙය අප ආර්ථික වැඩපිළිවෙලේ දෙවන අදියර බව කිව යුතුයි.

මේ වැඩසටහන් තුලින් අප උත්සාහ ගන්නේ ග්‍රාමීය ප්‍රදේශ නඟාසිටුවීමටයි. මෙලෙස ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ගමේ ජනතාව විසින්ම දියත් කළ යුතුයි. මේ ප්‍රදේශවල මංමාවත්, වැව්, අමුණු හා අනෙකුත් සංවර්ධන කටයුතු පිටස්තර කොන්ත්‍රාත්කරුවන්ට ලබාදෙන්නේ නැහැ. ඒවා ගමේ අය විසින්ම සිදු කළ යුතුයි. ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් ගමට ලැබෙනවා.

ව්‍යාපාරයක් ආරම්භ කරන්න -  ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න : එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විවෘතයි විවෘතයි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ග්‍රාමීය ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රම සකස් කර තිබෙනවා. ඕනෑම අයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම සඳහා ණය ලබාගත හැකියි.

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ග්‍රාමීය ජනතාව අතට වැඩිපුර මුදල් ලැබෙනවා. එමගින් ගමේ මුදල් පරිහරණය ද වැඩි වෙනවා. එමෙන්ම ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ හරහා ගමේ යටිතල පහසුකම් දියුණු වෙන බව කිව යුතුයි.

ගම්පෙරළියේ ජාවාරම්කාරයන්ට කිසිවක් නෑ 

මීට පෙර ග්‍රාමීය ප්‍රදේශවල වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේදී එම වැව්වල තිබුණ වැලි හා රොන් මඩ ව්‍යාපාරිකයින් විසින් ඩැහැගත්තත් ගම්පෙරළිය වැඩසටහන යටතේ එම සම්පත් සියල්ල ගමේ ගොවි සංවිධානයට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. එමගින් ගොවි සංවිධානයේ අරමුදල ශක්තිමත් කර ගත හැකියි. එම කටයුතුවලට අදාළ නව නීතියක් ද ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය නලින් බණ්ඩාර, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අයි.එන්. සමරතුංග යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න