Language Switcher

V2025

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්ට : ඇමති කොක්කක් !

කැබිනට් තීන්දුවලට පරිබාහිරව තමන්ගේ හිතූමනාපයට ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට කිසිදු හැකියාවක් නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර 2015 වසරේදී සියළුම භෝග සඳහා පනවා තිබූ මෙම තහනම 2017 වසරේදී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් තේ සහ රබර් යන භෝග සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිව ඉවත් කරන ලද නමුත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් පසුගිය 11(ජූලි මස) වෙනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් සියළුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆෝසේට් තහනම ඉවත් කර ඇති බවට මාධ්‍ය විසින් වාර්ථා කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් යන භෝග සඳහා පමණක් ග්ලයිෆෝසේට්  තහනම ඉවත් කිරීමට මිස අනෙක් සියළුම භෝග සඳහා වන තහනම ඉවත් කරන්නට නොවන බව පෙන්වාදෙන  සෞඛ්‍ය අමාත්‍යවරයා  කිසිම නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිටින් කටයුතු කල නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අලුත් ගැසට් පත්‍රයක් අද (16) - අමරවීර 

මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ සියලු බෝග සඳහා ග්ලයිෆෝසේට් භාවිතයට ලබාදුන් අවසරය  සඳුදා(16) දින වන විට යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

 '' ග්ලයිෆෝසේට් තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කලා ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත්කරලා ගැසට් පත්‍රයක් පලකරලා තියෙනවා.

නමුත් සඳුදා වන විට නැවත නැවත ගැසට් පත්‍රයක් පල වෙනවා තේ සහ රබර් හැර අනෙකුත් බෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට.  ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.

මේ සම්බන්ධයෙන් තේ සහ රබර්  වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුනා, මේ තහනම ඉවත් කරන්න කියලා විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූ බව ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම බෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කල බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ සඳහා විරුද්ධ වුනු පාර්ශවයන්ද තේ කාර්මාන්තය ග්ලයිෆෝසේට් නැතිව කරගෙන යා නොහැකි බව වටහා ගෙන ඇති බවත්  ඒ නිසා ඒ අයගෙන් මේ සඳහා විරෝධතාවයන් මතු නොවන බවද අමාත්‍යවරයා කියා පවසයි.