Language Switcher

V2025

වියත්මඟ "හමුදා තර්ජන" : සිවිල් සංවිධාන විසින් හෙළා දකියි!

'වියත්මඟ' සංවිධානයේ ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඉලක්කරමින් දිගින් දිගටම කරනු ලබන ප්‍රහාරයන් හෙලා දකිමින් ලංකාවේ ප්‍රමුඛ පෙලේ සිවිල් සංවිධාන 37ක් ඇතුලූ සිවිල් සමාජ ක්‍රියාධරයන් 170ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත්වූ ස්වාධීන කොමිෂන් සභා අතරින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් සම්බන්ධව ඉතා වැදගත් ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කිරීමට ඉතා නිර්භීතව කටයුතු කළ මානව හිමිකම් කොමිෂන් සභාවට, මානව හිමිකම් ඇතුලූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබදව කිසිඳු අවබෝධයක් නොමැති  යුධමය මානසිකත්වයකින් පෙලෙන කිහිප දෙනෙකු විසින් දැනට කාලයක සිට විවිධාකාරයේ විවේචන මෙන්ම තර්ජනයන්ද කරමින් සිටින බව එමඟින් අවධාරණය කර ඇත.

දේශදෝහීන්ට එල්ලා මැරීමට !

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නැවත එවැනි තර්ජනාත්මක විවේචනයක් එල්ල කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමයේ න්‍යාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකර මහතා විසිනි. 

ඔහුට අනුව ඔහු නියෝජනය කරන කදවුර දේශප්‍රේමී වන අතර, අන් සියලූම දෙනා දේශදෝහීන් වේ. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුලූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලූම දෙනා දේශදොහීන් ලෙස ඔහු සලකනු ලබයි. 
අනාගතයේ ඔවුන්ගේ රජයක් පත්වීමෙන් පසුව එසේ දේශදොහී ලෙස ඔවුන් විසින් නම් කරනු ලබන්නන් එල්ලා මරා දැමිය යුතු බවට ද ඔහු ප්‍රකාශ කරයි.

පුනරුත්තාපන ක්‍රියාවලියකට ලක් කළ යුතුයි !

දරුණු යුද්ධයකින් පසුව ඊට සම්බන්ධ වූ නිලධාරීන් ද සමාජයට මුදා හැරීමට පෙර යම් කිසි පුනරුත්තාපන ක්‍රියාවලියකට ලක් විය යුතුව තිබුනත්, පසුගිය රජය ඒ සම්බන්ධව අවධානයක් නොකිරීමත්, ඉන් නොනැවතී ඔවුන් ජාතික දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙන ඒමත් හේතුවෙන් අද වන විට මෙම විකෘති තත්වය මතුව ඇතැයි සිවිල් සංවිධාන පෙන්වා දෙති.

මෙම විකෘතිය නිසා සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් නිරෝගීව කටයුතු කරන සැම රෝගීන් හා දේශදෝහීන් ලෙසත් පෙනෙන්නට පටන් ගෙන ඇති බවත්, වත්මන් රජයවත් වහාම මේ පිළිබදව අවධානය යොමු කර මෙම තත්ත්වය තව තවත් වර්ධනය වීම වැලැක්වීම සදහා කටයුතු කළ යුතුව ඇති බවත් ඔවුන් සඳහන් කරති.