Language Switcher

V2025

පළායන්නෙ නැතිව මහින්දට එන්න කියන්න : ආණ්ඩුව ඒකාබද්ධයට දන්වයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් වෙතින් ඩොලර් මිලියන 7.6ක් ලබාගැනීම  සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වූ වාර්තාව පිළිබඳව මේ වන විටත්  (අද -19) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන යෝජනාවක් ලෙස  විවාදයට ගනිමින් තිබේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මෙම  සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර  ඒ අවස්ථාවේ දී සභාවේ කටයුතු අඩාල කිරීමට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

එහිදී අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා,

"මෙතැන වැදගත් විවාදය කඩාකප්පල් කරන්න කටයුතු කරනවා. මේ ගැන රට දැනගන්න එක වළක්වන්න කටයුතු  කරනවා. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ කැලෑ පත්තරයක් නොවේ.ලිපියේ කතුවරිය ප්‍රවීන කතුවරියක්.මේවට කෑගහලා වැඩක් නෑ. මේ වන විටත් ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනාට දැන් කැලෑ නීතිය යටතේ තර්ජනයක කරනවා. මෙහෙම නොවෙයි ප්‍රශ්න විසදන්නේ.ප්‍රශ්නය වැදගත් ලෙස විසඳාගන්න.චෝදනා වලට ඇවිත් උත්තර දෙන්න."
  පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් විසින්  ස්ථීර කළ අතර එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සම්බන්ධව බොරු චෝදනා එල්ල කළත් එය අසාර්ථක උත්සාහයක් බවත් දැන් අවශ්‍ය වන්නේ ඉදිරිපත්ව ඇති චෝදනාවලට පිළිතුරුදීම බවය.

එසේම රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලට අදාළ ගෙවීමට නියමිතවූ  පොළී ප්‍රතිශතය පවා වැඩි කළ බවත් ඒ හැසිරීම හමුවේ රාජපක්ෂ සමයේ ලබාගත් ණය ගැන සොයා බැලීමට කොමිසමක් පත්කළ යුතු බවද ඔහු පැවසීය.

 විවාදයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති චෝදනා වලට පිළිතුරු දීමට නොහැකිව පළාගොස් ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

 "නිව්යොර්ක් ටයිම්ස් පුවත් පත වගකිව යුතු පුවත්පතක්. මේවාට පිළිතුරු ලබාදිය යුතුයි.තමන්ගේ නායකයන් රකින්න විවාදයට එන්න ඕන. ඇත්ත තොරතුරු මේ අය දන්නවා. ඉදිරියේ දී ගොඩාක් තොරතුරු එළියට එයි. අපි රාජපක්ෂවරුන්ට මඩ ගහන්න පැමිණිලි කරගෙන මඩ ගහනව කියනවා. මෙවාගෙන් පලාගිහින් හරි යන්නේ නෑ. මේවාට නොබියව මුහුණ දෙන්න ඕන. හොරකම ගැන කියද්දි පලා යනවා."