Language Switcher

V2025

රාජපක්ෂ පවුලම විවාදය මඟහැර විදෙස් ගතවෙලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  චීන සමාගමක් වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබාගෙන ඇති බවට  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ අනාවරණය සම්බන්ධව අද (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදය  රාජපක්ෂ පවුල නියෝජනය කරන සියළු දෙනා  මඟහැර විදෙස් ගතව ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ අනාවරණය වූයේ  ආණ්ඩු පාර්ශවයේ සිටි මැති ඇමතිවරුන්  දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හෝ රාජපක්ෂ පවුල නියෝජනය කරන කිසිවෙක් පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධව ප්‍රශ්න  කිරීම හමුවේය.

එහිදී නැගීසිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කර සිටියේ රාජපක්ෂ පවුල නියෝජනය කරන තිදෙනාම විදෙස්ගතව ඇති බවය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපතිගේ වැඩිමහල් සහෝදරයා වන  හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ද අද පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

මේ සම්බන්ධව අදහස් පලකළ දුෂණ විරෝධී ක්‍රියාකාරීන් සඳහන් කර සිටියේ රාජපක්ෂවරුන්ගේ මේ හැසිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බලවත් පහරක් බවය. 

සැබවින්ම නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය හරහා එල්ලවූ චෝදනා සුළුපටු නැත. 

2015 මැතිවරණයේ  මහින්දගේ ඡන්ද කටයුතු සඳහා  චීන වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක  ‘කෑෂ් චෙක්‘!ලබාදීම, මැතිවරණයට දින 10කට ඩොලර් මිලියන 3.7 ක් ලබාදී ඇති බව, ප්‍රචාරණ ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම් සඳහා  ඩොලර් හයලක්ෂ හැත්තෑ අට දකසක් ලබාදීම, ඡන්ද සමයේ ජන්දදායකයන්ට සන්තෝසම් ලෙස සාරි ඇතුළු තෑගි බෙදාදීම සඳහා  ඩොලර් දෙලක්ෂ අනූ හත්දහසක් ලබාදීම,මහින්ද රාජපක්ෂට සහය දැක්වූ  ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් තිස් අටදහසක් ලබාදීම,ඒ සමයේ අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7 ක් ලබාදීම, ලෙස ඒ චෝදනා සාරාංශ ගතකළ හැකිය.

මේ චෝදනා වලින්  මහින්ද රාජපක්ෂට ගැළවීමක් නැත්තේ හිටපු ජනාධිපතිට ඩොලර් මිලියන 7.6 ලබාදුන් සමාගම, එහි  බැංකු ගිණුම පමණක් නොව මුදල් ලබාගත් කාලසීමා පවා නිශ්චිතව සඳහන්ව තිබීමය.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාගත් ණය මුදලට ගෙවිය යුතු පොළි ප්‍රතිශතය පසුව වැඩි කිරීමට පවා  මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීමය. ඒ බව අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද අනාවරණය කර සිටියේය.

කෙසේ වුවත් චෝදනා වලට අනුව නම් පෙනී යන්නේ චීන සමාගමක් ලංකාවේ  හිටපු ජනාධිපතිව ඩොලර් මිලියන 7.6 ක මුදලකට මිලදීගෙන ඇති බවය.  

ඒ අනුව පෙනී යන්නේ  හිට්ලර් වැනි රුධිර පිපාසිත මිනීමරුවකු ලෙස ලබන අපවාදය හැරුණු විට රටක නායකයෙකුට ලබන්න ඇති බරපතළම අපවාදය මහින්ද රාජපක්ෂ ලබා ඇති බවය. මහින්ද හරහා සමස්ථ රටම අපවාදයකට ලක්ව ඇති බවය.

එසේනම් මේ අපවාදයෙන් තමන්වත් රටත් ගලවා ගන්න  හැකියාව ඇත්තේද කාටවත් නොව මහින්දටමය. අද පාර්ලිමේන්තුවේ පැවති විවාදය කියන්නේ මහින්දට ඊට තිබුණු හොඳම අවස්ථාවය.

එහෙත් රට ජාතිය ගැන නිතර කියවමින් දත්මිටි කන හිටපු ජනාධිපති අද පාර්ලිමේන්තුවේ සිටියේ නැත. චෝදනා ඔප්පු කළොත් ඔළුවට වෙඩි තියාගන්නවා, බෙල්ල කපා ගන්නවා කියමින් හන්දි ගානේ ඔහේ කියවමින් සිටි ඔහු සිංගප්පූරුවට පළාගිහින්ය.

මේ හැසිරීම අනුව නම් පෙනෙන්නේ රාජපක්ෂලාගේ හැටි කොහොමත් එහෙම බවය. 

යහපාලනය බලයට පැමිණි විගස ඇමරිකාවට පළායන  බැසිල් රාජපක්ෂත්,  නීතියට වංගු දමා  අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණ නියෝග ගන්නා ගෝඨාභය රාජපක්ෂත් ඔප්පු කරන්නේ ඒ බවය. 

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි ඇමරිකානු පුරවැසියන් රටේ අභිමානය සම්බන්ධ ප්‍රශ්නයකදී පලා ගියාට ගැටළුවක් නැත. නමුත්  ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් අදටත්  ජනතාව අන්දන හිටපු ජනාධිපති මහින්දගේ   පළායාම  අනුමත  කළ හැකිද?