මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි : ගැටඹේ හිමිගේ ෂෝක්  බණ ටික !

මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි : ගැටඹේ හිමිගේ ෂෝක්  බණ ටික !

''මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා'' යැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි සඳහන් කර ඇත.

උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ  තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් ඊයේ (21) ගැටඹේ පන්සලේ පැවති බෝධි පුජාවේදී අනුශාසනාව කරමින්ය.

වත්මන් ආණ්ඩුව රටත් නොහදා හොරකම් කරන බවද  උන්වහන්සේ සඳහන් කර ඇත. එසේම මෙම රජය රටේ සියලු දේපළ සම්පත් විකුණන බවට ද උන්වහන්සේ චෝදනා කර තිබේ.

සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිගේ මේ ප්‍රකාශය සිදුකරන්නේ රාජපක්ෂ පාලනයේ පැවති දුෂණ සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පවතින පසුබිමකය. 

රාජපක්ෂ හොරකම් සාක්ෂිත් සමඟ !

එක් පසෙකින් නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය හරහා චීන සමාගමක් ඩොලර් මිලියන 7.6 ක මුදලකට මහින්ද රාජපක්ෂව මිලදී ගෙන ඇති බව තහවුරුව ඇත. අවම වශයෙන් එකී චෝදනාවට පිළිතුරුදීමට පවා රාජපක්ෂලා අසමත්ව සිටියි. චෝදනාවන්ට අදාළව පිළිතුරු දෙමින් තම නිරවද්‍යතාව ඔප්පු කිරීමට රාජපක්ෂලාට තිබූ හොඳම අවස්ථාව වුයේ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය වුවත් රාජපක්ෂ පවුල නියෝජනය කරන සියළු දෙනා ඒ අවස්ථාව මඟහැර ගියේ රටෙත් නොසිටමින්ය.

රටෙත් නොසිට පළාගිය රාජපක්ෂලා පසුව ඇවිත් කියා සිටියේ ඩොලර් මිලියන 7.6  අල්ලස් චෝදනාවට වසර තුනක් ගතව ඇති බැවින් ඒ ගැන විවාද කිරීමත් නොසුදුසු බවය.

එපමණක් නොව මේ වන විටත් CICT සමාගම   රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබාදුන් බව පිළිගෙන ඇත. ඊට අදාළ චෙක්පත් මෙන්ම බැංකු ගිණුම් පවා අනාවරණයවී හමාරය. බැසිල් රාජපක්ෂගේ මල්වාන මාලිගය සම්බන්ධ පුවතද එසේමය.

කොයි වළ යයිද මේ නම !

සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි මේ කිසිවක් ගැන සඳහන් නොකරයි. අවම වශයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධව නිශ්චිත කරුණු පැහැදිළි කිරීමක්වත් උන්වහන්සේ අපේක්ෂා නොකරයි. ඒ වෙනුවට උන්වහන්සේ දේශනා කරන්නේ මේ ආණ්ඩුව රාජ්‍ය දේපල විකුණා දමන බවය. එහෙත් එසේ විකුණු දේපළ කුමක්ද යන්නවත් සඳහන් කිරීමට උන්වහන්සේ අසමත්ය.

එහෙත් යුධ හමුදා මුලස්ථානය පැවති හෙක්ටයාර් දෙකකට අධික ඉඩම චීන සමාගමකට සින්නක්කරව ලියාදී ඇති බවද මේ වන විට අනාවරණය වී ඇති අතර උන්වහන්සේ ඒ දකින්නේද නැත.

වඩාත් හාස්‍ය ජනක සිදුවීම වන්නේ රාජපක්ෂ පවුල් ගසේ  තහනම් ගෙඩි කෑම නිසා  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පයිස්ලිට පාර්ලිමේන්තු තහනමක් පවා පැනවීමය. මේ සිදුවීම ගැනවත් රාජපක්ෂලා කිසිවක් පවසන්නේ නැත. ඒ සියල්ල ගැන ඔවුන් නිහඬය. මෙහි ඇති බරපතළ කාරණය වන්නේ ලංකා ආණ්ඩුව සිය කිළුටු රෙදි සෝදාගැනීම වෙනුවෙන් විදෙස් මන්ත්‍රීවරුන්ට අල්ලස් දී ඇති බවක් පෙනී යාමය. ඒ තුළ රාජතාන්ත්‍රික අපවාදයකට රට පත්වීමය.

අල්ලස් ගැනීම පමණක් නොව අල්ලස් දීමත් වරදක් බවත්  සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි නොදන්නවා විය නොහැක.

ඒ අනුව උන්වහන්සේගේ ප්‍රකාශය රාජපක්ෂලාගේ සොරකම් දැක ඒ ගැන කිසිත් සඳහන් නොකර මේ ආණ්ඩුවට බොරුවට චෝදනා කරන ස්වරූපයක් ගෙන ඇත. වඩාත් සරලව කියනවා නම්, " සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි දන්නවා රාජපක්ෂලා අන්ත දුෂිත පාලනයක් ගෙන ගිය බව. රාජපක්ෂලා හොරකම් කළ බවට චෝදනා ඇතැයි කියමින් උන්වහන්සේ එය මඟහැර දමන අතර වත්මන් ආණ්ඩුව හොරකම් කරන බව සහ විකුණන බව සඳහන් කරයි. එහෙත් එසේ විකුණන්නේ මොනවද යන්න උන්වහන්සේ නොකියයි."

මෙයින් පෙනෙන්නේ උන්වහන්සේ තමන් වරදක් කරන බව දැන දැන චේතනාන්විතව ඒ වරද සිදුකරන බවය. දැන දැන වැරදි කිරීම ගැන බෞද්ධ ඉගැන්වීම් සිහිපත් කිරීම අනවශ්‍ය වන්නේ නමේ හැටියට උන්වහන්සේ ධර්මය ගැන හොඳ දැනුමක් ඇති බව දක්නට ඇති නිසාය.
ඒ අනුව සම්බුද්ධ ධර්මය පවා විනාෂ කරගෙන මේ දෙසන්නේ වැදි බණ මිස බුදු බණ නොවේය. ඒ පසුපස ඇත්තේ රාජපක්ෂ පව් කන්දට කරගැසීමේ සංසාරගත උරුමයද යන්න දන්නේත් අප නොව උන්වහන්සේය. 

සැබවින්ම මේ වැදි බණ වැඩි වැඩියෙන් ඇසෙන්නට ගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපල ගැන ආණ්ඩුව තීන්දුවක් ගැනීමට නියමිතව තිබියදී ය. දරාගත නොහැකි ණය බර වෙනුවට ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට මත්තල පත්කර ගැනීමට එරෙහිවය. ජනතාව මත පතිතව තිබෙන ණය බර අවම කිරීමට දරන සෑම අවස්ථාවකම මෙවැනි වැදි බණ පසුගිය සාමය පුරා ඇසුණු අතර ඉදිරියේදීද ඇසීමට නියමිතව ඇත.

ඒ හමුවේ අපට කියන්නට ඇත්තේ  බුදු බණෙන් වැදිබණ වෙන්කර නොගතහොත් වරදින්නේ  ජනතාවට බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න