Language Switcher

V2025

2013වසරේදී  අපරාධ  55,000ක්-  පාඨලී 

2013වසරේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාලය තුළ අපරාධ  55,000ක් සිදුව ඇති බවත්, පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පුකර පෙන්විය යුතු බවත් ‍මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසීය.

අමාත්‍යාංශය යටතේ කතරගම ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවකට  සහභාගි වෙමින් ඊයේ  (22දා) අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලා කියන චෝදනා සංඛ්‍යාලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ 2013 ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ කාලයේ.

එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුව තිබෙන්නෙ 30,000යි. 55,000 යටතේ මිනීමැරුම්, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය සිදුවුණා. ඒ වගේම එම කාලයේ ආණ්ඩුවට සම්බන්ධ පාතාල ලෝකය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ ආරක්‍ෂා වුණා. ආණ්ඩුවට සම්බන්ධ නැති පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ මර්දනය කළා. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ නැති අයව මර්දනය කළා.

අද එහෙම නැහැ, එහෙම දෙයක් තිබෙනවා නම් අසුවල් දේ දේශපාලනඥයා කියලා සාක්ෂි සාධක ඇතිව ඉදිරිපත් කළ යුතුයි. එවිට රජය එයට නීතිය ක්‍රියාත්මක කරනවා.

මෙම ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය තමයි මැති ඇමතිවරුන්ට පවා ඍජුව, දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මහින්ද රාපපක්‍ෂමහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො අහුවුණාම ජනාධිපති යන්නේ නැහැ ගෙදරට ඒ අයව බේරගන්න. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ, සුදුවෑන් එවන්නේ නැහැ, තමන්ගේ ජාවාරම්කාරයා, නොවන ජාවාරම්කාරයෝ ආරක්‍ෂ කරන්න.

ඒ වගේ දේවල් අද සිදු වෙන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි, අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුළුවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව ක්‍රියාත්මක වෙන්න අපි බැඳී සිටිනවා“ යැයි පැවසීය.