වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සිරකරුවන් 27 ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
ඒ එම නඩුව අද(31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේය.
රහස් පොලිසිය විසින් පරීක්ෂණවල දී සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ඉල්ලීමක් කර තිබුණත් රස පරීක්ෂකවරයාගේ එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද රහස් පොලිසිය අද අධිකරණයට දන්වා සිටියේය.
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 07 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියටද නියම කර ඇත.