“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්

“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්

අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය දැනට 2016 වසරින් පසු විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වේ. 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකන් සඳහා මෙම වෛද්‍ය රක්ෂණාවරණය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක සඳහන් කරයි.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා 2018 වසරේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන පනහක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ  (31) අරලියගහ මන්දිරයේ පවත්වා ඇත.

එහිදී අග්‍රහාර රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ප්‍රතිලාභීන් ලබාදිය යුතු දායකත්ව මුදල පිලිබඳ සහ රක්ෂණාවරණය මගින් ඔවුන්ට සැලසෙන සහන පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කර ඇති අතර  තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික රක්ෂණ භාර අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැනද අවධානය යොමුකර ඇති බවද වාර්තා වෙයි.

 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ගෙවනු ලබන මෙම රක්ෂණ වැඩසටහන මගින් රක්ෂණ ලාභීන් සඳහා වාසි රැසක් ඇතුලත්ව ඇති අතර එය සෙසු රක්ෂණ ක්‍රම වලට වඩා සුවිශේෂී මෙන්ම විශ්‍රාමිකයන්ට වාසිදායක ක්‍රමයක්ද වනු ඇත. එනම් සියලු වෛද්‍ය අවශ්‍යතා සඳහා රක්ෂණ මුදල් ලබාදීමත් වයස් සිමවකින් තොරව ජීවිතාන්තය දක්වාම රක්ෂණ ප්‍රතිලාභ ලැබීමට උරුමකම් කීමත් මගින් මෙය සුවිශේෂී වෙයි.

ඒ අනුව පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමටත් ඊට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ගෙවීම් සඳහා මෙමගින් ප්‍රතිලාභ හිමිකරදිමටත් යෝජනාකර ඇත. එසේම නිවසේදී හෝ රජය අනුමැතිය සහිත පුද්ගලික ආයුර්වේද රෝහල්වල නේවාසිකව රැඳී සිටිමින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ රජයේ රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදීද මෙම ප්‍රතිලාභ හිමිවනු ඇත.

එමෙන්ම හර්ද සැත්කම් පුද්ගලික රෝහල් මගින් සිදුකිරීමේදී, පිළිකා රෝගී තත්වයන්ට මෙන්ම වකුගඩු, අක්මාව සහ මොලය ආශ්‍රිත සැත්කම් සඳහාද මෙමගින් රක්ෂණාවරණය හිමිවනු ඇත.  ශ්‍රවනාධාර ලබාගැනීම, අක්ෂි ශල්‍ය කාර්ම සඳහා මෙන්ම සදාකාලිකව සිදුවන පූර්ණ ආබාදිත තත්වයකදී මෙන්ම හදිසි අනතුරකදී හෝ ස්වභාවිකව සිදුවන මරණයක් ඇතුළු අවස්ථා රැසකදීම පුළුල් රක්ෂණාවරණයක් මෙමගින් හිමිවනු ඇත.

 මේ පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් සාකච්ජාවේදී විශ්‍රාමික සංගම් නියෝජිතයන් වෙත පැහැදිලි කර දෙනු ලැබූ අතර එහිදී ඉතා සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ එම නියෝජිතයන් ඔවුන්ගේ අදහස් හා යෝජනා මේ වැඩසටහන සඳහා එක්කිරීමට කටයුතු කළේය. අමාත්‍යවරයාද ඔවුන්ගේ අදහස් වෙත අවදානය යොමුකරමින් කියාසිටියේ සාධනීය යෝජනා ලබාගනිමින් විශ්‍රාමික ප්‍රජාවේ සුබ සෙත උදෙසා මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම තමාගේ අරමුණ බවයි.

මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් චක්‍රලේඛ අංක 5/1997 මගින් හදුන්වා දෙන ලදී. 2006 ජනවාරි පළමු වෙනි දින සිට බලපැවැත්වන පරිදි මෙම රක්ෂණ ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පවතී. මෙම අග්‍රහාර  රක්ෂණ ක්‍රමයේ මූලික අරමුණ වනුයේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් සහ එම පවුල් වල සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමයි. ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය සේවයේ පිරිස් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයනු ලබන අතර මෙමගින් සියලුම වෛද්‍ය අවශ්‍යතා, හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ.  2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන් ලක්ෂ හයකට අධික පිරිසකට මෙමගින් සෙත සැලසෙනු ඇත.

අමාත්‍ය සගාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ජාව සඳහා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ආයතන අධ්‍යක්ෂ සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න