වෛද්‍ය වර්ජනය : වර්ජන රැල්ලකට අත්හදා බැලීමක් !

වෛද්‍ය වර්ජනය : වර්ජන රැල්ලකට අත්හදා බැලීමක් !

වැඩ වර්ජන කිරීම, අකුරට වැඩ කිරීම හා රාජ්‍ය ආයතනවල කාර්යාල වැටලීම වැනි සටන් උපක්‍රම හරහා රජයට බලපෑම් කිරීම සඳහා වූ වැඩපිළිවෙලකට දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා ස්වාධීන රාජ්‍ය අංශයේ සේවක වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව "අනිද්දා" පුවත්පත වාර්තා කරයි.

උද්ඝෝෂණ වැනි පිටත සටන්වලට අමතරව රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කිරීම හරහා ආණ්ඩුවට බලපෑම් කිරීම එම වැඩපිළිවෙලෙහි අරමුණ බව එම පුවත්පත සමග අදහස් දක්වා ඇති ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් ප්‍රකාශ කර තිබේ.

අගෝස්තු 01 වැනිදා විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එම තීරණය ගෙන ඇත. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය වෘත්තිය සමිති, තෙල් සංස්ථා වෘත්තීය සමිති, බැංකු වෘත්තීය සමිති ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල වෘත්තීය සමිති හරහා රජය අකර්මණ්‍ය කිරීම කළ යුතු බව එහිදී යෝජනා වී ඇත. 

එම කටයුතු සංවිධානය කිරීම සඳහා නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේට පවරා ඇත.

වර්ජන රැල්ලකට දොස්‌තරලා ලෑස්‌තියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  

මේ අතර රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වූ පැය විසිහතරක වෛද්‍ය වැඩ වර්ජනය අද 04 දා පෙරවරු 8.00 ට අවසන් වුවත් සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වර්ජන රැල්ලක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සංකේත වර්ජනයක් දියත් කල අතර ඔවුන්ගේ රජයට ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පහත දැක්වේ. 

 1.   රැකියා වෙළෙඳ පොළ අනතුරට ලක් කරමින් සිංගප්පුරුව සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට විරෝධය පළකිරීම.
 2.   නව දේශීය ආදායම් පනත හරහා වෛද්‍ය වරුන්ට හා වෘත්තීයවේදීන්ට බලපාන අහිතකර බදුවලට විරෝධය පළකිරීම.
 3.   වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් නොකිරීම.
 4.  ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අධිකරණ ක්ෂේත්‍රයට පමණක් මුලික වැටුප් වැඩිකිරීමට තීරණය කිරීම.
 5.   වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ, රැඳී සිටීමේ හා පැමිණීමේ දීමනාව යාවත්කාලින නොකිරීම, අවම රුපියල් 35,000 කින් හෝ උපරිම රුපියල් 80,000 කින් එම දීමනා වැඩිකිරීම
 6.   වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු නිසි පරිදි සම්පුර්ණ නොකිරීම
 7.  වෛද්‍යවරුන්ගේ දරුවන්හට පාසල් ලබාදීමට කළ ඉල්ලීම් අධ්‍යාපන බලධාරීන් නොසලකා හැරීම.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න