ඉදිරි ජනාධිපතිවරණය ප්‍රබල තුන්කොන් සටනක් බවට පත්වීම වළක්වා පොදු අපේක්‍ෂකයා ලෙස නැවත වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටිකාලීන සහ දිගු කාලීන මැතිවරණ සැලසුමක් සකස් කර ඇතැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ‘දිවයින' පුවත් පතට පවසා ඇත.
ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පත් වුවහොත් සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ඒකාධිපති බලවේගවලට ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවනු ඇතැයි ද ඔහු සඳහන්කර ඇත.
පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේද ප්‍රබලයන් පිරිසක් සූදානමින් සිටින බවද ලේකම්වරයා අවධාරණය කර ඇති අතර හොරකමට , වංචාවට, දූෂණයට විරුද්ධ බලවේග මෙන්ම රටට ආදරය කරන සියලූ ප්‍රගතිශීලී සහ අධිරාජ්‍ය විරෝධී වමේ බලවේග එකම වේදිකාවට ගෙන එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සැලසුම බවත් ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂ සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවත් සඳහන් කර ඇත.

ජනාධිපතිරවණ ගැන කතා එපා - රවී කරුණානායක
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසන්නේ, පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කල යුතු බවය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ට පමණක් නොව උන්වහන්සේගේ දේහය හමුවේද දෙනුලැබූ ප්‍රතිඥාව අනුව තවදුරටත් විධායක ජනාධිපති ධුරයක් ගැන කතා නොකර නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන කතා නොකර වහා එය අහෝසි කල යුතු යයිද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

