බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මහ පරිමාණ ලෙස මුදල් ගරාගත් බව කියන බන්ධනාගාර ලොකු පුටුවල ලොක්කන් කිහිපදෙනෙකු සහ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ආරංචිමාර්ග මේ බව තහවුරු කරන අතර ඒ අතර බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු බන්ධනාගාර තුළ මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු මගින් සුපිරි වාහනයක් මිලදී ගැනීමට මුදල් ලබාගැනීම සම්බන්ධ තොරතුරු ලැබී ඇති බවද දැනගන්නට ඇත.
අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග බන්ධනාගාර ලොක්කෙකුට මෙලෙස සුපිරි වාහනය ලබාදීමට මැදිහත්ව කටයුතු කර තිබෙන්නේ බන්ධනාගාර නිලධාරිනියක් බවත් එම නිලධාරිනියගේ පුද්ගලික කටයුතු සඳහාද අවශ්‍ය මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සපයන බවට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වෙයි.
තවද බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

