රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර ඇත.
ඒ අදාළ නඩුව අද(06) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ පරිගණක සාක්ෂි මෙතෙක් පරික්ෂා කිරීම විත්තිය විසින් මෙතෙක් සිදුකර නොමැති බවට අනාවරණය වූ අතර ඒ අනුව පරිගණක සාක්ෂි පරික්ෂා කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය නොවැම්බර් මස 02 වන දා පැවැත්වීමට නියම කර තිබේ.
2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීත්‍යානුකූලව උපයාගත හැකි ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

