පන්සලේ පින් කැටේටත් බදු ගහනවා කියලා ගිහි මෙන්ම පැවිදි පිරිස් චෝදනා කරන නමුත් සැබවින් එවැන්නක් සිදුනොවන බවත් ඒ සියල්ල නිකං හදාගත් කතා බව භික්ෂු විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය පාතේගම ඥානිස්සර හිමියන් සඳහන් කරයි.
පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇති අතර බොහෝ පන්සල් වල පින්කැටයේ සල්ලි ඒ පන්සලේ නායක හිමිට නොයන බවත් සමහර පන්සල්වල අවිධිමත් සැලසුම් ක්‍රියාත්මක වෙන අවස්ථා පවතින නමුත් ඒ කටයුතු ක්‍රමවත් වීමට අවශ්‍ය බවද උන්වහන්සේ සඳහන් කර ඇත.
එසේම ආණ්ඩුව කරන හොඳ වැඩවල ලකුණු ආණ්ඩුවට ගන්න බැරිකම වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවක් බවත් ගැලරියේ ජනතාව වැඩිපුර ඉන්න රටක් වන ලංකාවේ ඒ මිනිසුන්ට නිවැරැදි දේ නිවැරැදිව කතා කරන්න දක්ෂ කථිකයන් මේ ආණ්ඩුවේ නැතිකම ඊට බලපා ඇති බවක් පෙනෙන්නට ඇති බවද ඥානිස්සර හිමියන් සඳහන් කර ඇත.
මෙහිදී භික්ෂු කතාකවත් පනත සම්බන්ධවද උන්වහන්සේ වෙතින් විමසා ඇති අතර ඊට අදාළ මාධ්‍යවේදියා නැගු ප්‍රශ්න සහ උන්වහන්සේ ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
භික්ෂු කතිකාවත් පනතට ඇතැම් භික්ෂුන් වහන්සේලා විරෝධයක් දක්වනවා.
කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ වර්තමාන ශාසනික සමාජයේ අනාගත ප්‍රගමනය ගැන සිතා විමසා කිසියම් තීන්දුවක සිට කතා කරනවා නම් ඒ කතා කරන භික්ෂුවට මේ පනතට විරුද්ධ වෙන්න බැහැ. නමුත් කිසියම් කෙනකු ලෞකික න්‍යාය පත්‍රවල හිඳිමින්, ලෞකික ලාභ අපේක්ෂාව නිසා මේ පනතට විරුද්ධ වීමේ හැකියාව තියෙනවා. නමුත් පොදුවේ භික්ෂුන් වහන්සේ නමක් හැටියට කතා කරනකොට ශාසනයේ චිර පැවැත්ම, අනාගත බෞද්ධ සමාජයේ යහපැවැත්ම පිළිබඳව විමසා බලලා මේ පනත කියවා බලලා විමසුම් නුවණින් කල්පනා කර බලලා මේ ගැන කතා කිරීමයි මම මේ කරන්නේ.
සමහර දේශපාලනඥයන් භික්ෂු කතිකාවත් පනතට විරුද්ධයි.
දේශපාලන හෙංචයියන්ගේ කතා පිළිබඳව එතරම් සැලකිල්ලට ලක් කරන්නේ නෑ. ටී.වී. එකේ ප්‍රවෘත්තිවලට දෙන වොයිස් කට් එකට විතරක් සීමා වුණු ඇමැතිවරුනුයි අද ගොඩක් ඉන්නේ. ඊට වඩා ඉදිරියට ගොස් කිසියම් දර්ශනයක, චින්තනයක සිට කතා කිරීම වැදගත්. සමහර උගතුන් යම් යම් දේශපාලන පක්ෂ ඇතුළේ ඔළුව තියාගෙන ඒවා එළියට දාන්නේ නැතුව අදහස් පවසනවා. ඒ කතාවල තියෙන්නේ හඬ විතරයි. දේශපාලනික න්‍යාය පත්‍රයක් ඔළුවේ තබාගෙන තියන හැම එකකටම විරුද්ධ වෙනවා කියන එක තමයි අද හොඳම මාධ්‍ය කලාව වෙලා තියෙන්නේ. කිසියම් දෙයකට විරුද්ධ වෙනවා නම් ඔහුට ප්‍රවෘත්තිමය වටිනාකමක් දෙනවා. එහෙම ප්‍රවෘත්ති තමයි අද ටීවිවලයි පත්තරවලයි වැඩිපුර තියෙන්නේ. ඒ බාල තත්ත්වයෙන් බැහැර වෙලා ශාසනය පිළිබඳව, ශාසන මාමකත්වයෙන් යුක්තව කතා කරන්න ඕන. මේ පනත ආණ්ඩුවේ එකක් නෙවෙයි. ආණ්ඩුවේ යම් යම් අවශ්‍යතා තියෙනවා. ආණ්ඩුව පෙරළනවාද තියෙනවාද කියන එක මට පෞද්ගලිකව අදාළ කාර්යයක් නෙවෙයි. ශාසනය විනාශ වෙනවාද නැද්ද කියන තැනේදී ඉදිරිපත් වීමේ අයිතියක් මටත් තියෙනවා.
මේ කෙටුම්පත ගැන ඔබේ මතය?
තමන්ගේ පාර්ශ්වයට අවශ්‍ය නීති මොනවාද කියන නීති සකස් කර ගැනීමේ අයිතිය ඒ මහා නායක, කාරක සංඝ සභිකයන්ට දීමයි මේ කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ අවසරය දෙනවා. ඒක භික්ෂුන් වහන්සේලා හැටියට ලැබෙන ලොකු අවස්ථාවක්. ඒක වැරැදි විදිහට
අර්ථකථනය කරන අවස්ථා මං දැකලා තියෙනවා. නමුත් උන්වහන්සේලාටත් ඒ දේශපාලනඥයන්ටත් මං කියනවා මේක පිළිබඳව හොඳට කියවලා බලන්න, මෙතැන නීතිය හදලා දෙන එකක් නෙවෙයි තියෙන්නේ, හදා ගැනීමට නීතිමය අයිතිය දීමක් තමයි මේ කරන්නේ. ඒක කාලීනව විය යුතුම දෙයක්. මේ කාරණය හරියට සන්නිවේදනය වෙන්නේ නෑ ජනමාධ්‍යයෙන්.
මේ පනත ආවොත් මහ නායක හිමිවරුන්ගේ නීතිය අවසාන නීතිය බවට පත් වෙනවාද..?
කිසියම් භික්ෂුන් වහන්සේ නමක් අතින් කිසියම් සමාජයමය, අපචාරමය වැඩක් කෙරුණාම උන්වහන්සේලාට දඬුවම් දීමට මහා නායක හාමුදුරුවන් වහන්සේලාට දැන් නීතිමය අයිතියක් නෑ. උන්වහන්සේලාට කරන්න පුළුවන් නිකායෙන් අයින් කරන එක විතරයි.
නිකායෙන් අයින් කළත් ඒවා අරගෙන සාමාන්‍ය උසාවියට යන්න පුළුවන්කමක් දැනට තියෙනවා. මේ නීතිය ආවොත් මහ නායක හාමුදුරුවන්ගේ නීතිය අවසාන නීතිය බවට පත්වෙනවා.
නීති විනිශ්චකරුවන්ගේ නීතිය ප්‍රමාණවත් කියලයි පනතට විරුද්ධ පාර්ශ්වය කියන්නේ..?
අද උසාවියක නඩුකාරයකු දෙන තීන්දුව ගත් විට ඇතැම් වෙලාවට ඒ නඩුකාරයා ශාසනික තත්ත්වය සොයා බලනවා අඩුයි. නඩුකාරයන්ට ශාසනික සම්ප්‍රදායන් පිළිබඳ ලොකු අවබෝධයක් නෑ. නීති විද්‍යාලයේ බෞද්ධ නීතිය පිළිබඳ වෙනම ප්‍රශ්න පත්‍රයක් දීම පිළිබඳව මම මීට අවස්ථාවකදී කතා කළේ ඒ නිසයි. අද වෙනකම් ඒකත් කෙරිලා නෑ.
ඒ නඩුකාරයන්ගෙ දැනුම පිළිබඳ සීමාකාරි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා පිළිබඳව ඊට වඩා පරිණත මහ නායක හාමුදුරුවන්, ශාසනික බලධාරීන් කිසියම් වරදකට තීන්දුවක් දුන්නාම ඊට උඩින් තීන්දුවක් ගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.
මේ පිළිබඳව අනවබෝධයක් රටේ තියෙන්නේ. එක්කෝ වෙන දේශපාලන පක්ෂයක මතයක් මේ වෙසින් ක්‍රියාත්මක වෙන්නේ. ශාසනයේ චිර පැවැත්මට හේතුවෙන කාරණයකට දේශපාලන මතයක් ඔළුවේ තියාගෙන විරුද්ධ වෙන එක බරපතළ පාප කර්මයක්. මං ඒ පාප කර්මයට අත ගහන්න කැමැති වෙන්නේ නෑ.
මේ පනත ගේන්න හදපු පළමුවැනි අවස්ථාව මේක නෙවෙයි නේද..?
මීට කලින් ගෙනා වෙලාවේ මාත් ඒකට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීමට හේතුව මහ නායක හාමුදුරුවන්ට වඩා බලයක් බුද්ධ ශාසන කොමසාරිස්ට ලබා දෙන්න ගිය නිසා. නමුත් ඒක වෙනස් වෙලා සියලු බලතලවල අයිතිය මහ නායක හාමුදුරුවන් වහන්සේලාට පැවැරිලා තියෙන්නේ. බුද්ධ ශාසන කොමසාරිස් කියන්නේ ඊට වඩා ඉහළ ඉන්න කෙනකු නෙවෙයි, රජයේ නියෝජිතයායි ඔහු. නිකායේ ප්‍රධානීන්ට බලතල දෙනකොට කෙනකු විරුද්ධ වෙනවා නම් ඒ මහා නායක හිමිට විරුද්ධ වීමක්. මහ නායකට විරුද්ධ වෙලා ශාසනයේ ඉන්නේ කොහොමද? ඒ නිසා හොඳ විමසුම් නුවණින් කටයුතු කරන්න කියන එක විරුද්ධ වෙන හැම කෙනාටම මතක් කරනවා.
භික්ෂුන් වහන්සේ පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ අයිතියක් අධිකරණ සංඝනායක ධුරයට නැද්ද..?
ඕනෑම ආයතනයක වගේ ශාසනික වශයෙන් යම් යම් නිකාය විසින් හදාගත් තනතුරු කිහිපයක් තියෙනවා. අධිකරණ සංඝනායක, පළාත් සංඝ නායක, උප ප්‍රධාන සංඝ නායක වගේ තනතුරු තමයි ඒ. ඒවා කාරක සංඝ සභා විසින් භික්ෂුන් වහන්සේලාට දෙනවා. ඒ අධිකරණ සංඝ නායකවරුන්ට සාම විනිසුරුට තියෙන බලයවත් දැන් නෑ. ඒ හුදෙක් නෛතික බලයක් නැති නාමමාත්‍රික නම්බු නාම පමණයි. මේ පනතින් බලයක් නැති නම්බුනාමවලට නීතිමය බලයක් පැවරෙනවා. ඒක වැරැදිද..? ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් බලය ලබාදීම වැරැදිද? පනත ඇසින් දැකලා නැති අයත් මේකට විරුද්ධව කතා කරනවා.
විරුද්ධ වීමට විතරයි මාධ්‍ය ඉඩකඩ වැඩිපුර තියෙන්නේ. මං විරුද්ධයි කියලා අත ඔසවන්න පුරුදු වෙලා ගොඩක් අය. ඒ ක්‍රමයෙන් මිදෙන්න ඕන. ඒක නම් ආණ්ඩුවට කඩේ යෑමක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ බිහිකළ බුද්ධ ශාසනයට කඩේ යෑමක් හැටියටයි මං දකින්නේ. ඒකට මං කැමැතියි.
විපක්ෂය චෝදනා කරනවා මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව භික්ෂුන් වහන්සේලා 40කට අධීක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තා කියලා.
ගිය ආණ්ඩුවෙත් මේක තිබුණානේ. මේ ආණ්ඩුවෙන් හෝ ගිය ආණ්ඩුවෙන් හාමුදුරුවන් හිරේ දැම්මා කියලා මම පෞද්ගලිකව දකින්නේ නෑ. නීතිය කියන්නේ යම් යම් අයට තමන්ට වාසි විදිහට හරව ගන්න පුළුවන් අවස්ථාවක් නිසා ඇතැම් අය හිරේ දාන්න උත්සාහ ගත්ත ක්‍රමය ලෝක ඉතිහාසයේ ආරම්භයේ සිටම තිබුණා. මේ කාලයේ පොදු විපක්ෂය ජනමාධ්‍යවල ප්‍රබල වෙලා තියෙනවානේ. පොදු විපක්ෂයට ලොකු චින්තනයක් නෑ.
ඒගොල්ලන්ට තියෙන්නේ ආවේගශීලී වොයිස් කට්. අපේ රටේ මිනිස්සු ආවේගශීලීව කතා කරනකොට ඒ අයව වීරයන් හැටියට හිතනවා. අපේ රටේ නූගත්කම සහ බුද්ධිමය පරිපාලකයන් අඩු නිසා එහෙම වෙන්නේ.

