ශාසනය අර්බුදයට යන විට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍යයි - පාඨලී 

ශාසනය අර්බුදයට යන විට රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍යයි - පාඨලී 

ශාසනය යම් යම් අර්බුදකාරී තත්වයන්ට පත්වන විට ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයේ මැදිහත්වීම ඉතා අවශ්‍යම කටයුත්තක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ පසුගිය 4 වන දාට යෙදි තිබුණු සිය 53 වන ජන්ම දිනය නිමිති කරගෙන මොරටුව සොයිසාරාම විහාරස්ථානයේ පැවති උත්සවයට එක්වෙමින්ය.

ඒ නිමිත්තෙන් සොයිසාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.  

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ගාලූපාරේ අතිශය වැදගත් ස්ථානයක මේ මහා විහාරස්ථානය පිහිටා තිබෙනවා. මේ වැදගත්කම තව අවුරුදු 10 කින් තවත් වැදගත් වෙනවා. මේ අවට සීග‍්‍රයෙන් නාගරිකරණය වෙමින්, නව නගර ඉදිවෙමින්, නව ප‍්‍රවාහන මාදිලි ඇතිවෙමින් මෙම ප‍්‍රදේශය හරහා සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඇති කිරීමට අප කටයුතු කරගෙන යනවා. නොයෙක් සංවර්ධන කටයුතු මෙම ප‍්‍රදේශයේ සිදුවෙනවා. මෙම වාරිමාර්ගය සතු ඉඩම විශාල නව නගරයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. පැල්පත්වාසී දුගී ජනතාවට සෙවන සදන නව වැඩසටහනක් ෆැක්ටරි වත්තේ ඇති කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. එවිට පැල්පත්, දුගීකම නැති අලූත් නගරයක් හැටියට මේ කටුබැද්ද රත්මලාන ප‍්‍රදේශය නැගී සිටින විට අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික වශයෙනුත් එම ජනතාව නගා සිටුවිය යුතුයි. ඒ නිසා ධර්ම කේන්ද්‍රයක් හැටියට සොයිසාරාමය අපේ නායක හාමුදුරුවන්ට වගේම අපේ දායක පිරිසටත් එය ගොඩනැගීමට හැකියාව ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරනවා.

 සොයිසාරාමය ආගමිකව මෙන්ම දේශපාලනයේදීත්  ඓතිහාසික ස්ථානයක් !

ඒ වගේම අපට දේශපාලන වශයෙන් කවුරුත් අපව නොතකා සිටි අවස්ථාවල අපට ඇප උපකාර කළ, සෙවණ දුන්, මුල් වූ ස්ථානයක්.  එම නිසා මෙම ස්ථානය ඒ ජාතික මහා අරගලයේ මුල්ගලක් තිබෙන තැනක්. ඒ සඳහා අපෙත් යුතුකමක් තිබෙනවා එම ස්ථාන ඉහළට ඔසවා තැබීමට. ඒ වගේම මෙම ඉඩම සම්බන්ධව දීර්ඝ කාලයක් නඩු හබ ආදිය තිබුණා. අපේ රටෙත් පොඩි සංවාදයක් ඇති වී තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ තිබූ කතිකාවත් පණත රජය ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන විවිධ මතවාද ඇතිවී තිබෙනවා. මෙය ඇත්තටම රජය කිසිම අවස්ථාවක ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා, අමාත්‍ය මණ්ඩලය, බෞද්ධ භික්ෂූන් වහන්සේ බේද කරවන්න හෝ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අනුමැතියක් ඇතුව හෝ කිසිම පණතක් අනුමත කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ පනත දැන් දශක 1 1/2 කාලයක් තිස්සේ නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් ගෙන ආ දෙයක්. ඒ නිසා අපේ සියළුම වැදගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මහානායක ස්වාමීන්වහන්සේලා සිව් නමේම අනුශාසකත්වයෙන් ඒ වගේම උන් වහන්සේලාගේ එකමුතු කමින්, එකඟතාවයෙන් යම් යම් වෙනස් කම් කරන්න අවශ්‍යනම් එහෙමයි, ඉවත් කරන්න  ඕනෙනම් එහෙමයි ඒ සඳහා වැඩපිළිවෙලක් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. සාසනය යම් යම් අර්බුදකාරී තත්වයන්වලට මැදිහත්වන කොට රජය මැදිහත් වෙලා සාසනයේ චිරස්ථිතිය ස්ථිර කරන්න සාසනය පිරිසිදු කර ගන්න, සාසනය ශක්තිමත් කර ගන්න මැදිහත් වෙන්න ඉතාම අවශ්‍යයි. මොකද අද බුදු බණ නමින් නොයෙක් බණ පැතිරී යන තත්වයක් උද්ගතව තිබෙනවා. ඒ වගේම බුද්ධාගමට පිටතිනුත් යම් යම් අභියෝග එල්ල වෙමින් තිබෙන වාතාවරණයක් තිබෙනවා.

චීවරයට අවමාන සිදුවීම වැලැක්විය යුතුමයි

ඒ වගේම මේ අධිකරණය කි‍්‍රයාදාමය ගැනත් යමක් සඳහන් කළ යුතුයි. අද මේ ස්ථානයේ ඉඩමක් සම්බන්ධයෙනුත් දීර්ඝ කාලයක් නඩු කටයුතු සිදුවුණා. අපි යෝජනාවක් ගෙනආවා, මම හිතනවා අපේ මහානායක ස්වාමීන් වහන්සේලාත් එම යොජනා රජයට ගෙන ආ යුතුයි කියා. මේ භික්ෂූන් වහන්සේලා  සම්බන්ධ කටයුතු කඩිනමින් විචාරීම සඳහා විශේෂ අධිකරනයක් අපේ රටට දැන් අවශයයි. අපේ සාමාන්‍ය අධිකරණයකට අධිකරණයක ඉඩම් නඩුවක් විභාග කරන්න අවුරුදු 30 කට වැඩි කාලයක් ගතවෙනවා. පාර්ලිමේන්තුවේ හෙළිදරව් වූ කරුණු අනුව සාමාන්‍ය නඩුවක් විභාග කරන්න අවුරුදු 17 1/2 ක යනවා. නඩු 7,50,000 ක් ගොඩගැසී තිබෙනවා විසඳාගත නොහැකිව. අද මේ රටේ අධිකරණයේ ස්වාධිනත්වය මේ රජය ගෙන ආවා. දැන් දේශපාලන බලපෑමක් නැහැ. හැබැයි අධිකරණ කාර්යක්‍ෂම කරන්න අපක්ෂපාතී කරන්න, බලය තිබෙන  තැන්වලටයි, බලය නැති තැන්වලටයි දෙකටම එකවිදිහයට කි‍්‍රයා කරනවයි කියා  පේන්න අවශ්‍යයි. නැතිනම් මේ පිළිබඳව තිබෙන විශ්වාසය දුරු වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාව සාමාන්‍ය උසාවි ඉදිරියට ගෙනිහිල්ලා උන් වහන්සේලාගේ චීවරයට යම් යම් ආකාරයට අවමාන සිදුවීම වැලැක්විය යුතුමයි. ඒ සඳහා කඩිනමින් මේ නඩුහබ ප‍්‍රශ්න විසඳන්න රජය අධිකරණ පද්ධතියක් අත්හදා බලන්න යනවා. ඒ වගේම අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් තිබෙන මේ ගැටළු මේ ස්ථානය හොඳම උදාහරණයක්. මේ ස්ථාන පරාභවයට යන්න, බිඳ වැටෙන්න මේවා තදින් බලපානවා. ඒ නිසා මේවා ඉක්මනින් නිරාකරණය කර ගැනීම සඳහා මේ මැදිහත්වීමක් දැන් අවශ්‍යවෙලා තිබෙනවා.

නගර නිර්මාණයේදී සංස්කෘතික මිනිසෙක්ද බිහිකළ යුතුයි !

අපේ නගර නිර්මාණයේදී කිසිසේත්ම ආධ්‍යාත්මික පැත්ත, සංස්කෘතික මිනිහෙක් හදාගන්න  ඕනෙයි කියන එක අමතක කරන්නේ නැහැ. ඒකේ පියවරක් හැටියට මේ ‘සිහිලැල් දැහැන’ නමින් අපේ ස්ථාන දියුණු කරන්නටත් කටයුතු කළා. ගොඩනැගිලි පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඖෂධ ආදී ගහකොල පිළිබඳව නවදැනුමක් කතිකාවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉදිරිකාලයේදී අපි සෑම ස්ථානයකම කි‍්‍රයාත්මක වෙනවා. දැනට අටමස්තානයේ, ශ‍්‍රී දළඳා මාලිඟා පරිශ‍්‍රයේ ආදී ප‍්‍රධාන ආගමික ස්ථාන ගණනාවකම අතිවිශාල ආයෝජනයක් සිදු කර මේ වැඩපිළිවෙල දියත් කර තිබෙනවා." යැයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න