ව්‍යාජ ලේඛන සකස්කර රජයට අයත් ඉඩම් අක්කර 9998 ක ප්‍රමාණයක් විවිධ පුද්ගලයන්ට අලෙවි කළ හා විවිධ ආකාරයෙන් බදු දී හා උකස් කර ඇති පුද්ගලයකු පිළිබඳව අනාවරණය කරගැනීමට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ සමත්ව ඇත.
ලලිත් ගමගේ මහතා සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය කරගෙන ඇති ආකාරයට කාලයක් තිස්සේ ඉතා රහසිගතව රජයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පවතින වනාන්තරයක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අංක 50 යටතේ පිහිටි ආනවිලුන්දාව නැමැති කැලෑව මේ ආකාරයෙන් විකුණා බදු දී සහ රජයේ බැංකුවලට සහ පෞද්ගලික බැංකුවකට උකස් ඇත.
මෙම රජයේ ඉඩම් මිලදී ගැනීම සඳහා ප්‍රබල දේශපාලනඥයෙක් උසස් හා රටේ නම ගිය භික්ෂූන් වහන්සේ නමකගේ පැමිණීමත් සමඟ දිසා වන නිලධාරීවරයා මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ගවේෂණය කොට පසුව හෙළි වී ඇත්තේ මෙය රජයේ ඉඩමක් බවත් ඉතා රහසිගතව කාලයක් තිස්සේ එක්තරා පුද්ගලයෙකු හැඳුනුම්පත් සහ පෙළපත් නාමයන් වෙනස්කොට ඥාති සබඳතා වෙනස් කොට ඉතා කූඨ ලෙස මෙම ඉඩම් බොහෝ දෙනෙකුට අලෙවි කොට ඇති බවය.
හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි යාපා මුදියන්සේලාගේ වසන්ත මනෝජ් මඩවල නැමැති පුද්ගලයෙකු මෙම ඉඩම් ඔහුගේ ඥාතීන් බව පවසා වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ඉඩම් අලෙවි කොට තිබෙන බවත් අනාවරණය කර ගෙන තිබේ.
දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා කියා සිටියේ, මාස කිහිපයක් තිස්සේ සිදු කළ විශේෂ පරීක්ෂණයකින් පසුව මෙම මහා පරිමාණ රජයේ ඉඩම් ජාවාරම පිළිබඳව බී වාර්තාවක් මඟින් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි.
එමෙන්ම වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් එස්.ඒ.ඒ. සතුරුසිංහ මහතා විසින් මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් මේ පිළිබඳව රහස් පොලිසිය හරහා විශේෂ විමර්ශනයක් සිදු කර දෙන ලෙසත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉල්ලීම් කර ලිපියකින් දැනුම් දී තිබීම ද විශේෂත්වයකි.
තනි පුද්ගලයකු විසින් රජයේ ඉඩම් අක්කර 9998ක අති විශාල භූමියක් මෙසේ ව්‍යාජ ඔප්පු සකසා අලෙවිකළ පළමු අවස්ථාව මෙය වේ දැයි සැකයක් පවතින බව අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා පැවසීය.
එමෙන්ම මෙම කූඨ ලේඛන සැකසීම සහ ඉඩම් අලෙවි කිරීමේදී රාජ්‍ය නිලධාරීන් රැසක් සිය වගකීම ඉටු නොකිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් මෙම විමර්ශනවලදී හෙළිවී ඇතැයි දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
චෝදනා එල්ලවී ඇති මනෝජ් මඩවල නැමති පුද්ගලයා ඉතා ව්‍යාජ ලෙස තමන්ගේ මව සහ පියා වෙනත් අයකු ලෙස හඳුන්වා දෙමින් ව්‍යාජව සැකසූ උප්පැන්න සහතික මරණ සහතික සහ හැඳුනුම්පත් මේ වන විට සොයාගැනීමට හැකි වූ බව හෙතෙම සඳහන් කළේ ය.
මෙම පුද්ගලයා පෙළපත් නාමය වෙනස් කොට වෙනත් අයෙකුගේ පෙලපත් නාමය සටහන් කොට ව්‍යාජ ලෙස සකසා ගත් හැඳුනුම්පත් හරහා සන්නසකින් තම පවුලට හිමිවූ අක්කර 9998 කට මෙසේ ව්‍යාජ ඔප්පු සකසා තිබෙන බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

