වැඩ වර්ජනය අවසන් කොට විසඳුම් ලබාගැනීම සඳහා ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිතිවලින් රජය ඉල්ලීමක් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
"පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අද දින 2018.08.08 සවස හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම අප රජය වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
පසුගිය (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කරන ලදි. එම තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්රරසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්රිරයා මාර්ගය රජය දැඩි සේ හෙළා දකී.
මෙම හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්රිදයාත්මක කර ඇත.
දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.
මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇත.
තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.
වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටී."

