Language Switcher

V2025

අතුරුදහන් වූවන් සොයා ගැනීමට ජාත්‍යන්තර සහාය (වීඩියෝ)

යුද සමයේ දී ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව නිවැරදිව සොයාගැනීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හා එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන කොළඹදී වට මේස සාකච්ඡාවක් පවත්වා තිබේ.

ගෝතමාලාවේ වෝහාරික මානව විද්‍යා පදනම (FAFG) හා ජාත්‍යන්තර අතුරුදහන් වුවන්ගේ කොමිසමේ (ICMP) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති එම වට මේස සාකච්ඡාව සංවිධානය කර ඇත්තේ මෙරට ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවර්ධනය සදහා වු මධ්‍යස්ථානය (CHRD) විසිනි.

කොළඹ පුද්ගලික හෝටලයකදී මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ පැවති එම වට මේස සාකච්ඡාව සදහා යුද සමයේදී උතුරේ මෙන්ම දකුණේත් අතුරුදහන් වු පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් සහභාගී වී තිබේ.

අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගෝතමාලාව අනුගමනය කර ඇති අත්දැකීම් වට මේස සාකච්ඡාව තුලදී ලබා ගැනිමට හැකි වු බව ඊට සහභාගී වු අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියාය.

රජයේ කාර්යාලය:

අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රජය විසින් ආරම්භ කිරීමට නියමිත කාර්යාලය කෙසේ සකස් විය යුතු ද යන්න සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා වු බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

ගෝතමාලාවේ වෝහාරික මානව විද්‍යා පදනම පසුගිය සමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දීද මෙවැනිම වට මේස සාකච්ඡාවක් පවත්වා තිබේ.

 වීඩියෝ 

පසුගිය නොවැම්බරයේ දී අතුරුදහන්වුවන් සදහා වන ජාත්‍යන්තර කොමිසම සහ ගෝතමාලාවේ වෝහාරික මානව විද්‍යා පදනම යුද්ධයේදී පිඩාවට පත් ජනතාව ,අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් මෙන්ම රජයේ සහ සිවිල් ක්‍රියාකාරීන්ද මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.

 රාජ්‍ය අනුග්‍රහය:

 ගෝතමාලාවේ සිදුවු සමුල සාතන හා අතුරුදහන් වුවන් පිළිබදව නිවැරදි තොරතරු සොයාගැනීමට ගෝතමාලාවේ වෝහාරික මානව විද්‍යා පදනම සමත්ව ඇති බව අතුරුදහන්වුවන් පිලිබදව සොයා බැලීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් පවසයි.

එරට සමුල සාතනයට ලක්වු පිරිස් සම්බන්ධයෙන් සොයා ගැනීමට සමත් කම් දැක්වු එම සංවිධානය සමුල සාතනය වුවන් වල දමා තිබු තැන් වලින් සිරුරු කොටස් ගොඩ ගෙන ඔවුන් වෙත අවසන් ගෞරව දැක්වීම සදහා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට අවස්ථාව හිමි කර දී ඇති බව පෙන්වා දෙන සුන්දරම් මහේන්ද්‍රන් අවධාරණය කරන්නේ ඒ සදහා ඔවුන්ට එම රජයේ පුර්ණ අවසරය ලැබී ඇති බවයි.

නමුත් පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ සිදු වු එවැනි සිද්ධින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සදහා ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට ගෝතමාලාවේ වෝහාරික මානව විද්‍යා පදනමට බලතල ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී බව ඔහු කියා සිටියේය.

 පුද්ගල අතුරුදහන් වීම් විසිදෙදහසක්

 යුද සමය සහ ඉන් පසු කාලය තුල තමන්ට වාර්තාවී ඇති ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන් වීම් විසිදෙදහසක් සම්බන්ධයෙන් අතුරුදහන්වුවන් පිලිබදව සොයා බැලීමේ කමිටුව ඉකුත් නොවැම්බරයේ එක්සත් ජාතීන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී හතලිස් දහසකටත් හැත්තෑ දහසකටත් අතර ජනකායක් මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති අතර මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් උගත් පාඩම් හා සංහිඳියාව සඳහා වන ජනාධිපති කොමිසමට (LLRC) කියා තිබුනේ වන්නියේ විසූ එක්ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් ආගිය අතක් නැති බවයි.

(radiogagana)