'හෙවන්ස් ගේට්' සාදය පිටුපස මහරාජා ඉඳලා !

'හෙවන්ස් ගේට්' සාදය පිටුපස මහරාජා ඉඳලා !

පසුගිය 4 වෙනි සෙනසුරාදා තරුණයන් සිව් දෙනෙකුට මරු කැන්දූ වාද්දුව සෆ්රන් බීච් හෝටලයේ පැවැති 'හෙවන්ස් ගේට්' නම් වූ මත්පෙති සමග ඩීජේ සංගීත සාදයේ එක් ප්‍රධාන අනුග්‍රාහකයෙකු වී ඇත්තේ කිලී මහරාජාගේ කැපිටල් මහරාජා ජාලයට අයත් ඉංග්‍රීසි විද්‍යුත් නාලිකාවක් බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි.

තවත් අනුග්‍රාහක සමාගම් කිහිපයක් තිබුනේ වී නමුත් ඒ එකක් හෝ රටේ ප්‍රධාන පෙළේ සමාගම් නොවන අතර එකම ප්‍රධාන පෙලේ සමාගව වී ඇත්තේ කිලී මහාරාජාගේ සමාගම පමණක් බවද එහි සඳහන් කර ඇත.

රෙඩ් බුල් නමැති පානයේ ලංකාවේ ඒජන්තවරුන් වන සමරසේකරලාට අයත් ඇවන්ට් ප්‍රිමියර් නමැති සමාගමද මෙම මාරාන්තික මත්පෙති සාදයේ ප්‍රධාන අනුග්‍රාහකයකු ලෙස කටයුතු කර ඇති බවද එහි සඳහන් අතර ලංකා ඊ නිව්ස් හී වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

4 වෙනිදා පැවැති මේ මත්පෙති සමග ඩීජේ සාදයේ දී මරුදුටු තරුණයන්ගේ රෝග ලක්ෂණ අනුව ඔවුන් සියළු දෙනාම මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ලබා ගැනීම නිසා ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල යෑමෙන් සිදුවූ මරණ බව පෙනී යන්නේ යයි බ්‍රිතාන්‍යයේ පදිංචි හදිසි අනතුරු පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. 

එය අදාල ශාලාවේ උෂ්ණත්වය ඉහල යෑමක් නිසා නොව පැහැදිලිවම මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් ශරීරගත වූ විට සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යෑම බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එහිදී ඉතා සුළු කාලයක් තුල ශරීරයේ වැදගත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් විනාශ වීම සිදුවන බව කීය.

එහිදී ප්‍රතිකාර කළ යුත්තේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ඉහල යෑමක් සේ සලකා නොව නිසැකවම මත්ද්‍රව්‍ය විෂ නසන ඇන්ටි ඩෝස් ලබා දිය යුතු යැයිද හේ කීය. ඔහු පවසන්නේ මෙය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීමෙන් වූ මරණ බව පැහැදිලිවම දක්නට ලැබෙද්දී ලංකාවේ වගකිව යුත්තන් විසින් එය වසන් කරන්නට උත්සාහ කරන බව පෙනීයන බවයි.

මේ අතර මෙවැනි සිදුවීමකදී පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් ගහන කිලී මහාරාජාගේ ජඩමාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුවතක් දෙකක් පමණක් බොහෝ ප්‍රමාද වී ප්‍රචාරය කළ අතර එහිදී ද එය සංවිධානය කළ පුද්ගලයන් වසන් කිරීමට වෑයම් කෙළේය.

මත්පෙති සහිත ඩීජේ සාද ගල්කිස්ස ප්‍රදේශයේ වසංගතයක් සේ බෝ වෙද්දී එම නගර සභාව ඒ සඳහා අවසර දීම අත්හිටුවා ලූයෙන් මේවා සංවිධානය කරන්නෝ පානදුර වාද්දුව ආදී ප්‍රදේශ කරා සංක්‍රමණය වී තිබේ. එදින වාද්දුවේ පැවැති සාදය සඳහා තරුණ තරුණියන් 2000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර ප්‍රවේශ පත්‍රයක මිල වූයේ රුපියල් 3000 සහ 5000 ක් ය. 4 දා රාත්‍රී 7.30 ට සාදය ආරම්භ වී ඇති අතර ප්‍රථම තරුණයා සිහි නැතිව ඇද වැටී ඇත්තේ අලුයම 3 ට පමණය. රෝගී වූවන් රෝහල් ගත කිරීමට ඇම්බියුලන්ස් එකක්ද කුලියට ගෙන තබාගෙන ඇත්තේ සංවිධායකයන් විසිනි. අලුයම වන විට වරින් වර සිව්දෙනෙකුම සිහි නැතිව ඇද වැටී පානදුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තිදෙනෙකු මිය ගොස් තිබියදී ද සාදය දිගටම පවත්වාගෙන ගොස් තිබේ. සාදය අවසන් කර ඇත්තේ පසුදා එනම් 5 වෙනිදා උදෑසන 10.00 ට පමණය. සිව්වැනියා මිය ගියේ 5 වෙනිදා සවස ය.

මේ සම්බන්ධයෙන් වහාම සාද සංවිධායකයන් අත් අඩංගුවට ගත යුතුව තිබුනේ වී නමුත් සාදය සංවිධානය කළා යැයි කියන අමිල පුෂ්පකුමාර සහ හර්ෂන එරංග නමැති දෙදෙනා අත් අඩංගුවට ගත්තේ බොහෝ පමා වී පසුගිය 9 වෙනිදා ය.

ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමක දී මෙය මත්ද්‍රව්‍ය විෂ වීමක් ලෙස ප්‍රචාරය නොකරන්නැයි පොලිසියේ ප්‍රධානීන් අමතා දන්වා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. ඒ කව්දැයි කියා සොයා බැලූ විට ඔවුන් කිලී මහාරාජාගෙන් වැටුප් ලබමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන ජනාධිපතිගේ අධ්‍යක්ෂක ධූර දරන්නන් ය. එහිදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගෙන යන සටනට එමගින් බාධා විය හැකි බව නමුත් සත්‍ය කතාව එය නොව කිලී මහාරාජා මේ මත්පෙති සමග ඩීජේ සාද වල ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන නිසා ය. මහාරාජාගේ සමාගම් දිගු කලක සිට මේවාට අනුග්‍රහාහකත්වය සපයා ඇත.

මත්පෙති සාද සංවිධානය කළ පුද්ගලයන් පමණක් නොව ඒවා සඳහා අනුග්‍රාහකත්වය සැපයූ කිලී මහාරාජා ඇතුළු අනෙක් උන්ව ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුය. නැතිනම් ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් එල්ලනවා යයි කියන කතා පුහු ඝෝෂාවක් පමණි.  

ලංකා ඊ නිව්ස්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න