පසුගියදා දුම්රිය වැඩවර්ජනයට මුල් වූ රියැදුරු පාලක, නියාමක, ස්ථානාධිපති, අධීක්‍ෂණ කළමනාකාර යන ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් අද (16) සවස 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සිය වැටුප් විෂමතා ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතද වාර්තා කර ඇත.
ඊට අනුව දුම්රිය වර්ජනයට මුල් වූ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පෙරේදා (14) පැවති කැබිනට් රැස්වීමේදී ද සැලකිල්ලට නොගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (15) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සිය ගැටලූවලට නිසි විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට ලබන අඟහරුවාදා (21) තෙක් කල් දීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
එදින හෝ එදිනට පෙර සිය ගැටලූවලට විසඳුමක් ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ලබන අගහරුවාදා සවස හෝ බදාදා සිට නැවත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ද එහිදී යෝජනා වූ බව දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.
කැබිනට් අනුමැතිය ලැබිලා !
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුයේ, රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත්කර දුම්රිය සේවාව ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලූ විසඳීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවේදී පැවසු බවයි.
ඒ අනුව එක් එක් ක්ෂේත්‍රයේ දැනුම හා පළපුරුද්ද සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට අඟහරුවාදා (16)
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙම කොමිෂන් සභාව වහාම පත්කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් පිළිබඳ ගැටලූ සඳහා එමගින් මාස දෙකක් ඇතුළත විසඳුම් ලැබෙනු ඇතැයි ද සඳහන් කළේය.

