නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම් නතර කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවට පළවන අසත්‍ය වාර්තාවලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අද (16) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ලිඛිත පැමිණිල්ල අමාත්‍යාංශයේ නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත.
කඩිනමින් ඊට අදාළව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසටද එම පැමිණිල්ලේ සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න විසින් මීට අදාළව විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වේ.
විශේෂ මාධ්‍ය නිවේදනය
නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අන්තර්ජාල මාධ්‍ය හරහා පලවන අසත්‍ය පුවත පිලිබඳවයි.
නිවාඩු මාසවල ගුරුවැටුප් ගෙවීම නතර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව දක්වමින් මේ වනවිට අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙමින් පවතී. මෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.
අමාත්‍යවරයා විසින් බදුල්ලේ පැවති උත්සවයකදී පැවසූ බව දක්වමින් වෙබ් අඩවියක පළවූ පුවතක් තවත් කණ්ඩායමක් විසින් මුදල් ගෙවා ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සහයක නිරතවන බව පැහැදිලි වේ.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සිදුකරන ජනතා විශ්වාසය දිනාගත් වැඩසටහන් පිළිබදව මෙන්ම ඒ හරහා ගොඩනැගී ඇති අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය සහ පෞරුෂත්වය බිඳදැමීමේ කුමන්ත්‍රණයක් මේ හරහා ක්‍රියාත්මක බවට පැහැදිලි තොරතුරු අප සතුව තිබේ.
එමෙන්ම පාසල් ප්‍රජාව සහ අමාත්‍යවරයා අතර සිත් බිඳවීම් සහ විශ්වාසය පලුඳු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී ඇති බව පැහැදිලිය. කුමන්ත්‍රණකරුවන් විසින් අදාල ප්‍රවෘත්තිය රිවිරෙන් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් රිවිර නිළ වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන රිවිර පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව රිවිර කතෘ මණ්ඩලය විසින් ද අප වෙත සනාථ කර තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ සිතාමතා ද්වේශ සහගතව හා සැලසුම් සහගත ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් ප්‍රතිරූපයට හානි ඇතිවන ආකාරයෙන් තොරතුරු පළ කර ඇති අදාල වෙබ් අඩවිය , අදාල ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාල තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් සහගතව කටයුතු කළ කණ්ඩායම් හා පුද්ගලයින් පිළිබද අමාත්‍යංශය මට්ටමින් හෙට දිනයේ පොලිස් පැමිණිල්ලක් සිදුකිරීමටත් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවද සඳහන් කරමු.
කල්ප ගුණරත්න
මාධ්‍ය ලේකම්
අධ්‍යාපන අමාත්‍යංශය.

