රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය ඇතුළු පිරිසක් විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අසාර්ථක බව දිවයින පුරා සිටින කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් තහවුරු කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත්කරමින් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය මේ බව සඳහන් කරන අතර අදාළ බස් රථ සේවක වර්ජනය ධාවන මාර්ග සීමිත ගණනකට පමණක් සීමා වූ වර්ජනයක් බවට පත්ව ඇති බවත් එම මාර්ගවල අපහසුතාවයට පත්වන මගීන් වෙනුවෙන් ද තවදුරටත් බස් රථ යෙදවීමට රජය කටයුතු කළ යුතුව ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
එසේම අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන මෙම සංවේදී අවස්ථාවේදී සිදුකරන මෙම වර්ජනය බස් මගී සංගමයක් ලෙස පිළිකුල් සහගතව හෙළා දකින බවත් පවත්නා ගැටළු සාකච්ජා මාර්ගයෙන් විසඳාගත යුතු බව සංගමයේ විශ්වාසය බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
එසේම වර්ජනයට සහය නොදක්වා සිය ධාවන කටයුතු සිදුකරන බස්රථ හිමියන් සහ සේවක මහත්වරුන්ට තම සංගමය ස්තුතිය පුදකරන අතර මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද සංගමය අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

