තමන් ද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත්, විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි නොවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මීගමුව ප්‍රදේශයේ ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
''මේක ලැබෙන්නේ නැහැ .. අපි ඉල්ලුවම කියයි අපි අර පක්ෂයෙන් ආවේ කියලා. මේක ගැන අපේ බලාපොරොත්තුවක් නැහැ. මන්ත්‍රී කණ්ඩායම ඉල්ලපු නිසා කමිටුවක් පත් කලා ..'' යයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා වැඩිදුරටත් පැවසිය.
ලිඛිතව ඉල්ලුවොත් අනුමැතිය දෙනවා - සන්ධාන ලේකම්
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවකදී පැවසුයේ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය ලබාදෙන බවයි.
මන්ත්‍රීවරුන් ඊට අදාළ ලිපි වෙන් වෙන් වශයෙන් ලබාදිය යුතු බව අතුරුගිරිය - පෝරේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේය.

'පුළුවන් නම් ස්‌වාධීන වී පෙන්වන්න'- ඒකාබද්ධයට අභියෝගයක්
පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කරන බව හැකිනම් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වාඩිවී සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස ද පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවද එම නිසා කිසිවෙකුටත් ස්‌වාධීනව කටයුතු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
පොහොට්‌ටුවෙන් තෙරීපත්වූ කිසිම මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුව තුළ නැතැයිද පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මෙම පිරිස වාඩිවී සිටින්නෙත් පක්‍ෂයෙන් ලබාදුන් අවසරය මත යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.
කැමැත්තෙන් පක්‍ෂයෙන් ඉවත් වන්නේනම් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා විනය පරීක්‍ෂණ පැවැත්වීමකින් තොරව පුරප්පාඩු වන මන්ත්‍රී තනතුරු සඳහා අලුතින් මන්ත්‍රීවරුන් පත්කරන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය පමණක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

