"නිහොන් සැප ලැබේවා" නිසා නිවන අවුල් වෙලා ! 

"නිහොන් සැප ලැබේවා" නිසා නිවන අවුල් වෙලා ! 

රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් රඟ දැක්වීමට නියමිත වේදිකා නාට්‍ය සහ රේඩියෝ  කිහිපයක් තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ තමන් අමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නාට්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.

මේ සම්බන්ධයෙන් 'හිරු' ගුවන් විදුලිය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද දැනුවත් කර ඇති බවයි.

බුදු දහමට මහා අපහාසයක්

මේ අතර මෙම ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය මාලාවකින් බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඊයේ(17) චෝදනා කළහ.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බව උන්වහන්සේ කියා සිටියේ, ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 සංස්කාරක සටහන :

රාජපක්ෂ අවතාර හමුවේ කලාව උලාකෑමට ඉඩදිය යුතුද ? !

වාර්තා වන ආකාරයට ඕමල්පේ හිමි මෙන්ම ඊනියා සුචරිතවාදී කිහිපදෙනෙකු සංහිඳියා කාර්යාංශය යටතේ විකාශය වීමට තිබූ මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" නම් වූ රේඩියෝ නාට්‍යය ගැන බරපතල ලෙස උයියා කරගෙන ඇති බවක් දැනගන්නට ඇත.
 දැනහෝ නොදැන යහපාලන බුද්ධ ශාසන ඇමතිද අදාළ කලා කෘතියට එරෙහි  වාරණය ඉදිරියට ගෙන ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ සිදුකළ ආකාරයටමය.

මාලක දේවප්‍රිය නම් සම්මානනීය අධ්‍යක්ෂවරයාගේ මෙම රේඩියෝ නාට්‍ය ඇතුළත්  කෘතිය මුද්‍රණ ද්වාරයෙන් පළකිරීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය දෙදහස් එකොළහ වසර සඳහා අයදුම්කල අවස්ථාවේ ද මෙවැනි විරෝධයක් මතුවුවා අපට මතකය.

එදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය දෙදහස් දොළහ මැයි විසිදෙක දින මාලක දේවප්‍රිය වෙත ලිඛිතව ලබා දුන් 65-5-1-2011/20 සමීක්ෂණ වාර්තාවේ කියවුණේ,

 "මෙම නාට්‍යය ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් හා ප්‍රකාශයට පත් කිරීමෙන් පාඨක පිරිස අතරින් වැඩි කොටසකගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත."

 "පාඨකයාගේ සිත දූෂ්‍ය කිරීමට, සමාජයට අහිතකර බලපෑම් ඇති කිරීමට තුඩු දෙන අදහස් අන්තර්ගත වේ.උදාහරණ:- නිහොන් සැප ලැබේවා, භෂ්මාන්තර, මන විදමන නාට්‍යය." "රාජ්‍ය තන්ත්‍රය සාවද්‍ය ලෙස දෝෂ දර්ශනයට ලක් කරන උග්‍ර මතභේදයට තුඩු දිය හැකි විවේචන ඇතුළත් වේ.  උදාහරණ:- නිරාභිෂේකන." ලෙසය.

එහෙත් ඒ අන්ත ජාතිවාදී, ආගම්වාදී ඒකාධිපති පාලන වියරුව සමයේ පවා මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකර ගැනීමට හැකිවිය.

 එම පාලනය ගෙදර යැවීමට කලාකරුවන් එක්වූයේ ඒ පැවති මර්දනීය සහ පසුගාමී එළඹුම් නිසාය. එහෙත් එම පාලනය ගෙදර යැවූ පසුවද තවමත් එම පාලනය තහවුරු කළ දෘෂ්ටිවාදය අපව ගිලගෙන ඇති බව පෙනෙන්නට ඇත.

මේ හමුවේ අපට අවධාරණය කරන්නට ඇත්තේ කලාව අරඹයා දියත්ව ඇති මේ ගෝත්‍රික මර්දනයට එරෙහිව කටයුතු කලයුතු බවය.

ආධ්‍යාත්මික ආගම, ලෞකික ජීවිත වෙත බලහත්කාරයෙන් කඩා වැදීමට ඉඩදිය යුතු නැත. සියල්ලට වඩා වැදගත් කරුණ වන්නේ ආගම විකුණාගෙන වෙන වාසි පතන උදවියට මිස බුද්ධාගමට මේ නිසා කිසිඳු හානියක් හෝ අපහාසයක් සිදුනොවීමය. එහෙයින් මේ තක්කඩි වුවමනා වලට එරෙහි විය යුතුය. 

විශේෂයෙන් අන්ත ජාතිවාදී රාජපක්ෂ කල්ලියේ ආගමික අවතාර වලින් මේ නිදහස් සහ පෙරටුගාමී කලාකරුවන් ආරක්ෂා කිරීමද ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමද දේශපාලනයේ කොටසක් බවට පත්කර ගත යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න