ගල්නෑව ජන උදාන ගම්මානයේ 50 දෙනෙකුට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් පිරිසක් හෙට (18-සෙනසුරාදා) දිනයේ කැන්රිච් (Kanrich) සමාගම විසින් සමථ මණ්ඩලය වෙත කැඳවා තිබේ.
කැන්රිච් ෆිනෑන්ස් සමාගමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 16 දෙනෙකුට ආසන්න පිරිසක්, ණය ගිවිසුම්වලට අත්සන් කළ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සහ ඇපකරුවන් මේ පිරිස වේ.
එසේම මෙම කාන්තාවන් විසින් ලබාගත් ණය මුදල කුමක් වුවද සෑම කෙනෙකුටම රුපියල් නව දහස් ගණනක දඩ පොලියක් ද ගෙවිය යුතු මුදලට එක් කිරීමට නියමිත බව ද දැනගන්නට ලැබේ.
ක්ෂුද්‍ර මූල්‍ය උවදුරේ සෘජු ගොදුරු බවට පත්ව ඇති මෙම කණ්ඩායම, දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ කැන්රිච් සමාගමට ගෙවීමට අපොහොසත් වී ඇත්තේ සති 3ක වාරික මුදල් පමණක් බව ද අපට දැනගන්නට ලැබේ.
එසේම ඉංග්‍රීසි භාෂාව නොදන්නා මෙම කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේදී නියෝජිතයන් විසින් ඔවුන් ලවා අත්සන් කරගෙන තිබෙන්නේ කොළ 3 කින් සමන්විත, ඉංග්‍රීසි බසින් ලබාදුන් ණය ගිවිසුමකි.
ඔවුන් වෙත සමථ මණ්ඩලය විසින් යවා ඇති ලිපියේ දැක්වෙන්නේ හෙට උදෑසන 8.30 ට තඹුත්තේගම මොනරගල විහාරස්ථානයේ පැවැත්වෙන සමථ මණ්ඩල රැස්වීම සඳහා ඔවුන් යා යුතු බවයි. ‘තඹුත්තේගම පදිංචි කැන්රිච් ෆිනෑන්ස්‘ මෙහි අනෙක් පාර්ශවය බව ද ලිපියේ දැක්වේ.
අංක 91 ගල්නෑව ජන උදාන ගම්මානයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් මේ සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් වෙත අදහස් දක්වමින් කියා සිටියේ ‘‘අපි ණය වෙලා හොඳටම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට පුළුවන් විදිහට ගෙවාගෙන යන්න අවස්ථාවක් දෙන්න කිව්වාම අපිට හොඳටම බනිනවා..“ යනුවෙනි.
තවද, ‘‘සමථ මණ්ඩලයේ ඉන්නෙ අපේ අය... එතෙන්ට ආවම අපි බලාගන්නම්.. අපි කියන විදිහට තමයි, එතැන වැඩ සිද්ධ වෙන්නෙ‘‘යනුවෙන් තඹුත්තේගම කැන්රිච් නියෝජිතයන් එම කාන්තාවන්ට පවසා තිබේ. (සාක්ෂි අප සතුය)
මේ සම්බන්ධයෙන් LNW අදාළ කැන්රිච් සමාගමේ නියෝජිතයෙකුගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ හෙට දිනයේ සමථ මණ්ඩලයට කාන්තාවන් කැඳවීමේ සිදුවීම සත්‍යයක් බවයි.
‘‘වාරික ප්‍රශ්නයක් තියෙනවනෙ.. එතකොට ණය කැපෙන්නෙ නෑනෙ.. ඒ නිසා ආයතනයෙන් සමථ මණ්ඩලයට දාල තියෙනවා“ යනුවෙනි.
කොපමණ කාලයක් මෙම කණ්ඩායම වාරික ගෙවීම් කර නැතිදැයි විමසූ විට ඔහු කියා සිටියේ ‘‘සති 3 ක ගැටළුවක් තියෙනවා‘‘ යනුවෙනි.
දඩ පොළිය සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ‘‘ඒක අපි නෙවෙයි, ආයතනයෙන් තමයි තීරණය කරන්නෙ.. දඩ පොලියක් අය කරන බව ආයතනය කියනවා“ යනුවෙනි.
කැන්රිච් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහබැංකුවේ 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සමාගමකි.
එහි සභාපති ආචාර්ය ඩබ්.එම්. හේමචන්ද්‍ර, ශ්‍රී ලංකා මහබැංකුවේ සහකාර අධිපති (Assistant Governor)වරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.
අපට තිබෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ රජය විසින් රුපියල් මිලියන 500 ක් වැය කරමින්, මෙම සමාගම්වලට මෙතෙක් අයකර ගත නොහැකි වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය පවා රජයේ ණය කපා හැරීමේ වැඩසටහන යටතේ ගෙවීමට කටයුතු යොදා ඇති මෙවැනි අවස්ථාවක, ශ්‍රී ලංකා මහබැංකුවේ සෘජු නියාමනයට යටත් වන මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරික ආයතන පවා හැසිරෙන්නේ මේ අන්දමින් ද යන්නයි.
විශේෂ ස්තූතිය -
නෙළුම්යාය පදනම - නීතීඥ රදිකා ගුණරත්න
(LNW )

