මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිටින "කලන" නම් හස්තියා නිසි ඇත්ගොව්වෙකුගේ භාරකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් වසර 4ක් තිස්සේ දේවාල භුමියේ ගැටගසා දමා ඇති බව දැනගන්නට ඇත.
එකම ස්ථානයක දම්වැල් යොදා බැඳදමා ඇති කලනගේ මේ අවාසනාවන්ත ඉරණම මාධ්‍යවේදී දයා නෙත්තසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ ජායාරූප සහිතව අද (24) දින සටහනක් තබා අනාවරණය කර තිබිණ.
එම සටහන පහත දැක්වේ.
"ජීවත් වීම සදහා දැන් ඔබගේ අනුග්‍රහය අවශ්‍ය යි..මිත්‍රවරුනි ....?කළණ ගේ සිහින් කෙදිරියත්..ඇසින් කඩා හැලෙන කදුලු ත්...නිහඬව ඉල්ලා සිටින්නේ එයයි....!කලණ ගැන මීට පෙර ත් මා ඔබට කීවෙමි...මේ සේයාරූ ...ඊට වඩා වේදනාකාරී ය...?කළණ ගේ ඉදිරිපස දකුණු පාදයේ දම්වැල ට කැපීමෙන් හටගත් තුවාලය හේතුවෙන් දැන් ඔහුට එම පාදය වැඩි වේලාවක් බිම තබාගෙන සිටීමට හැකියාවක් නැත .දම් වැල පාදය තුලට කිදාබැස ඇත .ඒ වේදනාව ඔබට තෙරුම්ගත හැකිද ...?මහත්වරුනි ...!කරුනා කර ඔබේ මෙවලමෙන්...මේ සේයාරූ විශාල කර බලන්න....!තමන් ට කෑම ට දෙන පොල් අත්තක අගිස්සකින් සිය තුවාලය ට වසන මැස්සන් එලවා දැමීම හැර කළණ ට වෙනත් පිහිටක් නැත ..කළණ සිටින්නේ දෙවිනුවර ශ්‍රී විශ්නු දේවාල භූමියේ මී ගසක යදම් ලා ය...2015 සිට ඔහු එතැනය....එකී වසරේ සිට මේ දක්වා ම ඔහු එතැන ය...ඇවිදින්න හෝ දිය නෑමට...වසර හතරකින් කළණ ගේ යදම් ලිහී නැත....මේ අවාසනාවන්ත ඉරනමට කළණ ගොදුරුව ඇත්තේ 1989 නොවැම්බර් මස 05 වැනිදා ය.එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් දෙවිනුවර ශ්‍රී විශ්නු දේවාලය ට කළණ පූජාවක් තෑගි කිරීමෙන් අනතුරුව ය...මිත්‍රවරුනි ...කළණ ගේ මරණයේ සෙවනැල්ල දැන් ඔහුට පෑගෙමින් ඇත .බුද්ධ සාසන ඇමතිවරයාට මේ අවනඩුව පෙනෙන්නේ නැත ..?සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මුණිවර වතිනි...!කළණ දේශපාලන හිර කාරයෙකි ...ඒ පිලිබඳව පසුව විස්තර කියමි..සිරකරු ගේ අංක ය 49 ය.ලියාපදිංචිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ය....කරුණා කර මේ අසරණ යාට නිදහස දෙන්න....? "
සත්වෝද්‍යාන බලධාරීන් ඇවිත් හැරිලා ගිහින්
කෙසේ වුවත් දයා නෙත්තසිංහ සිදුකළ මෙම අනාවරණයත් සමඟ සත්වෝද්‍යාන බලධාරීන් මෙම හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට පැමිණ ඇති නමුත් හස්තියා සඳහා (අලිබාස්) ඇත්ගොව්වකු නොමැතිවීම හේතුවෙන් එම පිරිසද නැවත හැරීගොස් තිබෙන බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධව දයා නෙත්තසිංහ මාධ්‍යවේදියා වෙතින් විමසීමේදී ඔහු ඒ බව තහවුරු කළ අතර ඉඳහිට හෝ මේ හස්තියා බලන කියන එම දේවාලයේ සිටින වෙනත් අලිබාස් කෙනෙකු සිටියත් එම අලිබාස් ද තම අලියා සමඟ නුවර පෙරහරට ගොස් තිබෙන නිසා සත්වෝද්‍යාන බලධාරීන් හැරීගොස් තිබෙන බවද ඔහු පැවසීය.
සංස්කාරක සටහන :
විෂ්ණු දෙවියන් බටකොළ කන්න ගිහින් : ඒත් බස්නායක නිලමේ ඇතුළු නඩය !
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දෙවියන් සෙනසුරුදසාව ලබා බටකොළ කන්න ගිහින්දැයි අප දන්නේ නැත. කොහොමටත් ඔය අටමගල් දෙවිවරු ගැන විශ්වාසයක් තබා ගනුදෙනුවක් අපට නැත. නමුත් මේ දේවාලයට අරක්ගත් එයින් යැපෙන බස්නායක නිලමේ ඇතුළු රැල මේ අවනඩුවට වගකිවයුතුව ඇත.
දෙයියන් පෙන්වා මිනිසුන්ගේ පුද පඬුරුවලින් යැපෙන දේවාලයට අරක්ගත් ඒ මිනිස් අම්බරුවන්ට ඊට වඩා දෙයක් අපට කියන්නට දෙයක් නැත. ඒ ඔවුන් තම ක්‍රියාවෙන් සියල්ල ඔප්පු කර ඇති නිසාය.
නමුත් පිං බිමක යැයි කියන තැනක සිදුවන මේ හිංසනය සම්බන්ධව රජයේ වගකිව යුතු පාර්ශව මීට කඩිනමින් මැදිහත්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ. එහෙයින් බුද්ධශාසන අමාත්‍යවරයා ඇතුළු බලධාරියනි, දැන් තිබෙන්නේ ඔබේ අවස්ථාවය.







