ආණ්ඩුව එළවන "පළමු වෙඩිමුර" කීයක් තිබ්බාද? - අමරවීර  

ආණ්ඩුව එළවන "පළමු වෙඩිමුර" කීයක් තිබ්බාද? - අමරවීර  

මේ ආණ්ඩුව එළවීමට  පළමු වෙඩි මුරය බව කියමින් ඒකාබද්ධ විපක්ෂය  දහ වතාවක් පමණ එවැනි "පළමු  වෙඩිමුර" පත්තුකළ නමුත්  ආණ්ඩුව තවමත් හොඳින් ක්‍රියාත්මක වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මහනුවර දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව පැවැති සාකච්ඡාකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර තව කොපමණ වෙඩි මුර පත්තු කළත් තත්ත්වය වෙනස් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා ඇත.

ඒකාබද්ධ විපක්ෂය 2016 දී මැයි දිනයේ දී කිව්වා, ගාල්ලට අපි ලක්ෂ ගාණක් ගේනවා, එතකොට ආණ්ඩුව ඉවරයි කියලා. ඊට පස්සේ කොළඹ තවත් රැස්වීමක් තියලා කිව්වා, ආණ්ඩුව ඉවරයි කියලා. ඊට පස්සේ කොළඹ තවත් රැස්වීමක් කියලා කිව්වා, ආණ්ඩුව හෙට උදේ වෙනකොට ඉවරයි කියලා. තවත් වතාවක් මහනුවර ඉඳලා පාගමනක් සංවිධාන කර කිව්වා, ඕං ආණ්ඩුව ඉවරයි කියලා. ඊට පස්සේ තවත් වතාවක් සෙනඟ රැස් කරලා කිව්වා. දැන් අපිට තමයි බලය තියෙන්නේ කියලා. ඊට තවත් මැයි දිනයක දී ගාලු පිටියට සෙනඟ ගෙන්වා පහුවදාම ආණ්ඩුව ඉවරයි කියා කීවා.

ඊළඟ වෙසක් පෝයට ඉස්සෙල්ලා, ඊළඟ සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ආණ්ඩුව ගන්නවා කියලා, ප්‍රකාශ කළා. ඊට පස්සේ අපේ 16 දෙනෙක් ඉවත් වුණාට පස්සේ ප්‍රකාශ කළා දැන් ආණ්ඩුව ඉවරයි කියලා. ජනාධිපති ධුරය, අගමැති ධුරය අද හෙටම ගන්නවා කියලා තැන් තැන්වල ගියා. ඒක බැරි වුණාම විපක්ෂ නායකකම ඉල්ලුවා. ඉතිං මෙහෙම වාර ගණනාවක දී ආණ්ඩුව පන්නනවා කියලා කිව්වත්, ඒකාබද්ධ විපක්ෂයට තවමත් මේ ආණ්ඩුවට කෙස් ගහක බලපෑමක් කරන්න හැකි වී නෑ.

දැන් ඒගොල්ල ලබන මාසේ තවත් වෙඩි මුරයක් පත්තු කරනවලු. මට කියන්න තියෙන්නේ ඕකත් පුස් වෙඩිල්ලක් තමයි. මේ ආණ්ඩුව තියා ගන්නවාද, නැද්ද තීරණය තියෙන්නේ ජනාධිපතිතුමා අතේ මිසක් වෙන කිසිවකු අතේ නෙවෙයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය කොයිතරම් පළමු වෙඩිමුර පත්තු කළත් මේ ආණ්ඩුවට බලපෑමක් සිදුවන්නේ නැතැයිද  අමාත්‍ය  මහින්ද අමරවීර පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න