රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් සම්බන්ධ පවතින ගැටලු නිවැරදි කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව අද (27) පළමු වරට රැස්වීමට නියමිතයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම විශේෂ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පසුගියදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස එස්.රනුක්ගේ මහතා කටයුතු කරන අතර එච්.ජි.සුමනසිංහ මහතා එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී මෙම සාමාජිකයින්ට ඔවුන්ට අදාළ විෂයන් බෙදාදීම සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම වැටුප් ගැටලුව නිරාකරණය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අද දිනයේ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වෙයි.
පසුගිය 20 වැනිදා සිට මාස දෙකක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ වැටුප් ගැටලුව විසදීම සම්බන්ධයෙන් වන යෝජනා අදාළ කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත බාරදෙනු ඇත.
මේ අතර වැටුප් විෂමතාව මුල් කරගනිමින් එළඹෙන 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති පසුගියදා තීරණය කළේය.
කෙසේ වෙතත් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ බලධාරීන් සාකච්ඡාවක් ලබාදෙන්නේ නම් දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වෘත්තීය සමිති සූදානම් බවය.

