සිංගප්පූරු- ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම හරහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැන් තිබෙන තත්ත්වයට කිසිඳු බලපෑමක් සිදුනොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින්ය.
රටේ දේශීය ඉදිකිරීම් අංශය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවත් ඒ හරහා ශක්තිමත් බව ඇති කිරීමෙන් ඇති වන තරඟකාරී බවට නොසැලී මුහුණ දීමට හැකි ශක්තිය ලබාදීම සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"අපේ ආර්ථිකයට නැවත පණපෙවීම සඳහා ආණ්ඩුව විසින් ජනතාවට මුල්‍ය සහාය ලබාදීමට පළමුව කටයුතු කරනවා. ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙන වැඩසටහන් කිහිපයක්. මීට අමතරව දේශීය කර්මාන්ත සඳහා සහන පොළි අනුපාත යටතේ බිලියන 10ක් දිගු කාලීනව ප්‍රාග්ධනය වශයෙන් ලබාදීමට කටයුතු කරනු ලබන සංවර්ධන බැංකුව ඇති කිරීමට පියවර ගනිමින් සිටිනවා. මේ අනුව ජනතාවට වාසිදායක වන ඉදිකිරීම් කටයුතු නොයෙකුත් ආකාරයෙන් සිදුවෙමින් තිබෙනවා.
අපි ස්වයං අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳව අවධානය යොමු කොට තිබෙනවා. මෙහිදි ඔබ සතු මුදල් වියදම් කොට ව්‍යාපෘතිය ආරම්භ කළ විට අපි කොන්ත්‍රාත්කරුට එම මුදල් ගෙවීමට කටයුතු කරනවා. එහිදී ඔබට ඉදිකිරීම් කර්මාන්තයේම කොටසක් බවට පත්වෙමින් තිබෙන මුල්‍යමය පැකේජ ලබා දීම තුළින් එම ව්‍යාපෘතිවලට දායකත්වය ලබාදීමට පුළුවන් වෙනවා. එවිට ඔබට කොන්ත්‍රාත්කරුවාගේ භුමිකාවෙන් එහා ගිය යමක් සිදුකළ හැකි වෙනවා.
අනෙක් ගැටලුව මතුවන්නේ ගෙවීම් සිදු කිරීමේ ප්‍රමුඛතාව හඳුනා නොගන්නා නියෝජිතායතන සම්බන්ධයෙන්. වයසින් වැඩි ණයකරුවාට පළමුව ගෙවීම් කළ යුතු වෙනවා. ඊට පසුවයි අනෙක් තැනැත්තා වෙත අවධානය යොමු කළ යුතු වන්නේ. එසේ නම් ණය ගෙවීමේ ක්‍රියාවලියේදී අපට අවම කරගත හැකි තත්ත්වයක් බවට මෙය පත්කළ හැකියි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනෙක් ගැටලු සහගත තත්ත්වයයි. මම ආණ්ඩුවට ප්‍රථම වරට පැමිණෙන කාලය වන විට ඒ ක්‍රියාවලිය බෙහෙවින් සංකීර්ණ වුණා. එවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා මහවැලිය ගොඩනැගීමට නම් වසර සියයක්වත් ගත වෙන්න තිබූ බව මම වරක් ප්‍රකාශ කළා. ඒ වගේ මෙම ක්‍රියාවලියේ ගැටලු තිබුණා. මේ ප්‍රසම්පාදන නීති රීති සම්පාදනය කළේ අපි නොවෙයි. ආණ්ඩුවේ සිටින ඔබගේ මිතුරන් විසින්මයි. මේ පිළිබඳව අපි සොයා බලනවා. ඒ ගැන මාගේ අමාත්‍යාංශ සාමාජිකයින් විසින් අධ්‍යයනයක් සිදු කරමින් සිටිනවා. ඉදිකිරිම් ක්ෂේත්‍රයට සම්බන්ධ වන ප්‍රමුඛ පෙළේ අමාත්‍යාංශ සමඟ හමුවක් පැවැත්වීම අවශ්‍ය වෙනවා. උදාහරණ වශයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, අධිවේගී මාර්ග ඉදිකිරීම් පිළිබඳ අමාත්‍යාංශය, මහ නගර සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශය වගේම ප්‍රධාන වශයෙන් එම ක්ෂේත්‍රයේ රැදීසිටින ඔබ වැනි සමාගම් එක් වී සාකච්ඡා කළ යුතු වෙනවා. මේ සඳහා ඉල්ලීමක් මා වෙත එවන්න. එවිට ඒ අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්.
සිංගප්පූරු ගිවිසුමෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයට බලපෑමක් නෑ !
දේශීය ඉදිකිරීම් අංශය තව දුරටත් ශක්තිමත් කිරීම අපේ අරමුණයි. ශක්තිමත් බව ඇති කිරීමෙන් තරඟකාරී බව ඇති කිරීමත්, ඇති වන තරඟකාරී බවට නොසැලි මුහුණ දීමට හැකි ශක්තිය ලබා දීමත් සිදු වෙනවා. දැන් පවතින තත්ත්වයට කිසිම බලපෑමක් සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඇති වෙන්නේ නැහැ. මොකද ඕනෑම ගිවිසුමක, තහනම් කළ සහ නොකළ ක්ෂේත්‍ර අන්තර්ගත වෙනවා. තහනම් කළ ක්ෂේත්‍ර සංඛ්‍යාව අඩුයි. තහනම් නොකළ ක්ෂේත්‍රවලින් අපි පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුම ඉවත් කළා. පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුම කලින් පැවැති ආණ්ඩුවට හොඳ ලෙස පෙනුණා නම් ඒ ගිවිසුමේ කිසිදු වෙනසක් නොමැතිව මේ ආණ්ඩුවටත් හොඳ ලෙසට පෙනිය යුතුයි. කුමන හෝ ප්‍රශ්නයක් මතු වුවහොත් වාර්ෂික සමාලෝචන ක්‍රියාවලියේදී අපට ඒවා සාකච්ඡා කළ හැකියි. අපි දැන් ස්වාධීන කොමිසමක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර එයට ප්‍රතිචාර දැක්වීමට ජනතාවට හැකියාව ලැබෙනවා.
ආරක්ෂණ බදු නීතිය ක්‍රියාත්මක නිසා ආනයන ගැන බය වෙන්න එපා
ආරක්ෂණ බදු (Antidumping) නීතිය දැන් ක්‍රියාත්මකව පවතින නිසා යම් ආනයනයක් වැළැක්වීමට අපට හැකියාව තිබෙනවා. එසේ නම් ඉහත සඳහන් කළ නෛතික ගැටළු සහ ගෙවීම් පිළිබඳ ගැටලු සමථයකට පත්කර ගත්විට ඊට පසුව අපි සලකා බැලිය යුත්තේ අපගේ තරඟකාරීත්වය ඉහළ දමා ගන්නා ආකාරයයි. 2008 වසරේ සිටම විදේශීය කොන්ත්‍රාත්කරුවන් අපේ රටේ කටයුතු කරනවා. ප්‍රථම වරට මාර්ග ඉදිකිරීමේ කටයුතුවලටත්, පසුව ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලටත් ඔවුන් සම්බන්ධ වෙමින් ඔවුන් මෙහි රැඳී සිටියා. ඔවුන් විශාල ව්‍යාපෘතිවලට මෙහි පැමිණ එවන් විශාල ව්‍යාපෘතිවල නිරතව දිගින් දිගටම ක්‍රියා කරනවා. දැන් ඔවුන් මෙහි රැඳී සිටිමින් වෙනත් කටයුතුවල නියැලෙනවා.
රන්දෙනිගල ව්‍යාපෘතියට පැමිණි කොන්ත්‍රාත්තරුවන් එම කටයුත්ත නිමා වූ පසු ආපසු තම රටට ගියා. යළිත් ඔවුන් යම් කටයුත්තක් මෙහි සිදුකරනවා නම් ඒ සඳහා ආපසු පැමිණියා. නමුත් දැන් තත්ත්වය වෙනස්. එය අපේ රටේ විතරක් නොවෙයි මේ කලාපයේම දැකිය හැකි ලක්‍ෂණයක් බවට පත්වෙලා. ඩොලරයේ අගය වැඩිවීම නිසාද අපිට ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය මුදලින් ගණුදෙනු සිදුවන සියළුම කොන්ත්‍රාත්තුවලට මේ තත්ත්වය බලපා තිබෙනවා. ඉන්දියාවේත් ඒ තත්ත්වය එසේමයි. මෙය කෙටි කාලීන ගැටලූවක් පමණක් වේ යැයි මම බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් බොහොමයක් රටවලට මෙම ඩොලරයේ අගය ඉහළ යාම නරක අතට බලපා තිබෙනවා. අනෙක් කාරණය නම් ආර්ථික සංග්‍රාමයයි. ඒ තත්ත්වය ඉන්ධන වැනි ඇතැම් ප්‍රධාන සැපයුම්වලට බලපා තිබෙනවා. මේවා අපගේ පාලනයෙන් පිටස්තර වූවත් කෙටි කාලයක් ඇතුලත සිදුවන මෙම වෙනස්කම් දෙස අවධානයෙන් සිටිය යුතු වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවේ අපගේ දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ තරඟකාරී බව මම දුටුවා. ඒ එක් අවස්ථාවක් පමණයි. තති තනිව ඔබට මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතුවලට අතගහන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි අවදානම ගත්තා. අපි මුදල් සපයා ගත්තේ දේශීය බැංකුවලින්. ඔබ සියලු දෙනා එකම පවුරක් ලෙසින් එයට දායක වුණා.
සීමාවෙන් පිටගොස් තරග කරන්න සුදානම් වෙන්න
එසේ නම් ඔබගේ අවධානය යොමු විය යුතු අංශ දෙකක් තියෙනවා. එකක් තමයි සීමාවෙන් පිටතට ගොස් තරඟ කිරීම සහ ඒ තුළින් ගොඩනැගීම. දෙවනුව මෙරට පෞද්ගලික හෝ රාජ්‍ය මැදිහත් වීම මත සිදුවන දේශීය ව්‍යාපෘතිවලට සාමුහික වශයෙන් සම්බන්ධ වීම. අතීතයේ කතාවක තිබුණා වගේ කෝටු මිටියක් එකට බැන්දාම තනි තනි කෝටුවේ ශක්තියට වඩා ඒ මිටිය ශක්තිමත් බවින් වැඩියි. ඒ කාරණයමයි මමත් යෝජනා කරන්නේ. එවිට ඔබගේ ශක්තිය වැඩි කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම අමාත්‍යංශ සහ ඉදිකිරීම් කර්මාන්ත මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවීමත් ඔබට ශක්තියක් වේවි."

