"විදුහල්පතිනිය දන ගැස්සවීම" : මානව හිමිකම් කොමිසමේ  විමර්ශන වාර්තාව කෝ ?  

"විදුහල්පතිනිය දන ගැස්සවීම" : මානව හිමිකම් කොමිසමේ  විමර්ශන වාර්තාව කෝ ?  

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මීට  වසරකට වැඩි කළකට පෙර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් විමර්ශනයක් පවත්වනු ලැබූ නමුත් අදාළ  විමර්ශනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාව අදාල පාර්ශව වෙත ලැබී නොමැති බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඒ බව දැනුම්දී සිටින අතර අදාළ විමර්ශන වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලමින්  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක්ද යොමුකර තිබේ.

මෙයට පෙර අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබද විමර්ශනයේ දී කොමිෂන් සභාව දැක්වූ කාර්යක්ෂම භාවය ඌව ප්‍ර‍ධාන අමාත්‍යවරයාට එරෙහි පරීක්ෂණයේ සිදුව නොමැති බව තම නිරීක්ෂණය බව දැනුම්දෙන මානව හිමිකම් කේන්ද්‍රය විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමුකළ එම ලිපිය පහත දැක්වේ. 

 27/08/2018
ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය
ගරු සභාපතිතුමිය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
14, ආර් ඒ ද මැල් මාවත
කොළඹ  4
 
 ප්‍රිය සභාපතිතුමියනි,

ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් විසින්, බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සම්බන්ධයෙනි.

මෙයට වසරකට වැඩි කළකට පෙර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් පවත්වනු ලැබීය.  මම එහි පැමිණිලිකරු ලෙස සාක්ෂි දුන් එක් සාක්ෂිකරුවෙකු සහ අදාළ විමර්ශනය සම්පූර්ණයෙන්ම නීරීක්ෂණය කළ පුද්ගයෙකු වෙමි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණය තවමත් අදාළ පාර්ශව වෙත දැනුම් දී නැත.

මෙම සිද්ධිය රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, මෙයට පෙර අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබද විමර්ශනයේ දී කොමිෂන් සභාව දැක්වූ කාර්යක්ෂම භාවය ඌව ප්‍ර‍ධාන අමාත්‍යවරයාට එරෙහි පරීක්ෂණයේ සිදුව නොමැති බව අපගේ නිරීක්ෂණය යි.

අදාළ විමර්ශනයේ වාර්තාව හැකි ඉක්මනින් අදාළ පාර්ශවයන් වෙත ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය
 
පිටපත්
1.      එම්.ඒ.නිහාල් චන්ද්‍ර‍සිරි - අධ්‍යක්ෂ/මානව හිමිකම් කොමිෂන් සභාව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න