හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නැවත ලබන 15 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියමකර තිබේ.
එම නඩුව අද (08) සම්පත් අබේකෝන්( සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය වෙත ලබා දිය යුතු ලියකියවිලි බොහොමයක් මේ වන විටත් විත්තිය වෙත ලබාදී ඇති බවත් තවත් ලේඛන දෙකක් ඉදිරි දිනවල ලබාදීමට කටයුතු කරන බවයි.
අනතුරුව අදාල ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත ලබන 15 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව ලබන 30දා සිට දිනපතා විභාගයට ගන්නා ලෙසද නියම කළේය.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

