අසරණ වූ විදේශ නියුක්තිකයන් 27 කට : රුපියල් ලක්ෂ 55ක වන්දි ප්‍රදානයක් !

අසරණ වූ විදේශ නියුක්තිකයන් 27 කට : රුපියල් ලක්ෂ 55ක වන්දි ප්‍රදානයක් !

විදෙස් රැකියා සදහා පිටත්ව ගොස් සිටියදී මරණයට පත්වූ හා රෝගී වූ ශ්‍රමිකයින් 27 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පනස් පහක මුදලක් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  විසින් ප්‍රදානය කළේය.

මෙහිදී විදේශ රැකියාව හේතුවෙන් සිදුවූ මරණ 16ක් සඳහා රු. 4,100,000.00 ක මුදලක්ද, වෛද්‍යාධාර සදහා ශ්‍රමිකයින් 7 දෙනෙකු වෙනුවෙන් රු.1,050,000.00ක මුදලක්ද, රැකියාව අතරතුරදී සිදුවූ හිරිහැර හා වදහිංසා වෙනුවෙන් ශ්‍රමිකයින් දෙදෙනෙකු සදහා රු.100,000.00ක මුදලක් හා යැපෙන්නන් සදහා ශ්‍රමිකයින් දෙදෙනෙකු වෙනුවෙන් රු.200,000.00ක මුදලක් ලෙස රු.5,450,000.00ක මුදලක් ප්‍රදානය කෙරිණි. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල විසින් මෙම මුදල් ලබාදී තිබුණි.

එහිදී අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා, “කාර්යාංශය මගින් සිදුකරන විශාල සත්කාරයක් තමයි සේවක සුභසාධක අරමුදල මගින් වන්දි මුදල් ලබාදීම. ජීවිතයේ ගොඩක් කම්කටොළුවලට මුහුණදීලා මුදලින් පිරිමහන්න බැරි අඩුවක් වෙන අවස්ථාවක පුංචි උදව්වක් කරලා ඒකෙන් මහා ලොකු තෘප්තියක් ලබන කණ්ඩායමක් නෙවෙයි. ඔබ වෙනුවෙන් ආයතනය මගින් යමක් කරන්න පුළුවන්නම් ඒ පිළිබදව සතුටු වෙනවා වගේම මීට වඩා යමක් කරන්න මේ නිළධාරීන් සමග එක්ව වැඩසටහනක් ඉදිරියේදී හදාගන්නවා.

රක්ෂණ වන්දි වලින් ඔබ්බට ගිහින් අපේ සුභසාධන අංශය හරහා යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබදව අලුතින් හිතන්න අලුතින් දකින්න පටන් ගන්න අවශ්‍යයි. විදේශ රටවලට ගිහින් දුක්විදින අපේ සහෝදරයින්ට වග කියන්න තමයි මේ ආයතනය තියෙන්නේ.

මේ අය යන ශ්‍රමිකයින් බේරගන්න යන්නේ කොහෙටද හරි තැනකටද කියලා අපි හොයලා බලන්න ඕනි. සමහරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවන්නේ නැතුව වෙනත් ක්‍රම මගින් ගිහින් විශාල ගැටළුවලට මුහුණ දෙනවා. අද අපිට මේ උදව්ව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ලියාපදිංචිවෙලා විදේශ රැකියාවට ගිය නිසා.තැරැව්කරුවන් මගින් රට ගිහින් විදේශ රටවලදී ගැටළුවලට මුහුණ දුන් විශාල පවුල් සංඛ්‍යාව තියෙනවා. ලියාපදිංචිවෙන්නේ නැතිව රට රස්සාවකට ගිහින් පස්සේ මේ ආයතනයට ඇවිත් කුණුහරපෙන් බැනලා ගියත් අපිට කරන්න දෙයක් නෑ. මේ නිළධාරීන්ට වැඩකරන්න වෙලා තියෙන්නේ නීති රාමුවක් යටතේ. ඒ නිති රාමුව තුළ අපිට කරන්න පුළුවන් දේවල් සීමාවක් තියෙනවා. කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන්න කියන්නේ ලියාපදිංචි වෙලා ගියාම අපිට සේවාවන් සපයන්න පහසු නිසා. කරදයක් වුනාම ඔවුන්ට සහන ලබාදෙන්න පුලුවන් නිසා.මේක බැරෑරුම් කාර්යයක්. ලොකු දෙයක් තියෙනවා මේක ඇතුලේ. මේක කොහොමද මේක කොහොමද සහන දෙන්නේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි ලියාපදිංචි වුනාම මොනාද ලැබෙන්නේ කියන දේ තුළ විශාල දේවල් තියෙනවා.

හොරෙන් රටයන ගණන වැඩිවෙලා !

පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා හොරෙන් යන ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. හොරෙන් ගිහින් කරදරයට ලක්වුණොත් අපිට පහසුකම් සලසන්න කිසිම විදිහක් නෑ. මේක තේරුම් ගන්නේ නෑ. කියන්නේ ඒජන්සි එක්ක එකතුවෙලා කාර්යාංශය ගහන ගැටයක් කියලා

අපේ සහෝදරියෝ රට යන්නේ එක්කෝ ගේ හදාගන්න ,දරුවන්ට උගන්වන්න එහෙම තියෙන සිතුම් පැතුම් එක්ක තමයි රට යන්නේ. ඔවුන්ට අපි සැලැස්මක් හදනවා මිසක් පවුල් පසුබිම් වාර්තාවක් හදා ඒ අයව හිර කිරීම නෙමෙයි අපේ උත්සහය වෙන්නේ.ඒ දරුවගේ අධ්‍යාපනය, දරුවා ඉන්නේ ආච්චිඅම්මා එක්ක ද නැන්දම්මා එක්කද දරුවගේ ඉස්කෝලේ කටයුතු කොහෙමද වෙන්නනේ.හරිනම් දරුවෙක්ගේ මව විදේශ ගතවීමේදී පමණක් නොවෙයි, පියා විදේශ ගතවීමේදීත් පවුල් පසුබිම් වාර්තාවක් ගන්න ඕන.තාත්තා ගිහින් ආවේ නැත්තන් අම්මා තනිවෙනවානේ දරුවා එක්ක.ඒ සියළු දේ අපි කල්පනා කරලා අලුත් වාර්තාවක් අපි අලුත් විදිහට හදන්නයි අපි ඉල්ලුවේ.පවුල් පසුබිම් වාර්තාව අයින් කරන්න කියලා නෙවෙයි අපි ඉල්ලුවේ.පවුල් පසුබිම් සැලැස්මක් හදමු කියලයි අපි කියන්නේ.

රන් පියාපත් සමඟ ප්‍රශ්න රැසක් විසඳනවා !

ඒ වගේම අපි ඉදිරියේ දරු පැටව් වෙනුවෙන්, අපහසුතාවයට පත් වෙලා ඉන්න පවුල් වෙනුවෙන් අලුත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. “රන් පියාපත්” කියලා අපි අළුත් වැඩසටහනක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කරන වැඩපිළිවල මොකක්ද කියන එක ගොඩක් ලංකාවේ මිනිස්සු දැනන් හිටියේ නෑ.දැනුවත් නොවීම නිසා තමයි ගොඩක් අඩුපාඩු වෙලා තියෙන්නේ.අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා පුලුවන් තරම් ඉක්මණින් මේක ජනතාව අතරට ප්‍රචාරය කලොත් මිනිස්සු අමාරුවේ වැටෙන එක අඩුවෙයි කියන එක මං විශ්වාස කරනවා.

අපේ නිළධාරීන් මහත්මීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා අපි මේ ඔක්කෝම වාර්තාවක් හදලා විශේෂයෙන් මේ දරුවෝ මේ අමාරුට පත් වෙච්ච පවුල් ගැන ඉදිරියේදීත් විපරමක් කරලා එතුමන්ලා වෙනුවෙන් ගැන නිරන්තර සැලසුමක් හදන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදාගමු.මොකද ඒක අපේ යුතුකමක්.අපිට අන්තිමේදී ඉතුරු වෙන්නේ මනුස්සයෝ විතරයි.අපිට කාටවත් ගෙනියන්න දෙයක් නෑ.ඒ නිසා පුලුවන් පුලුවන් විදිහට මනුස්සයන්ට උදවු කරන්න හැකියාවක් තියෙනවා නම් අපිට ඒක ලොකූ වටිනාකම් වෙයි.

උන්ඩියල් නැතුව කෙළින්ම සල්ලි එවන්න 

රට යන ඇත්තෝ වෙනුවෙන් අයවැයේදී පුංචි උදව්වක් කරනවා .ගොඩක් අය සල්ලි එවන්නෙත් නෑ බැංකු වලින්.එවන්නේ උන්ඩියල් කියලා තියෙනවා ක්‍රමයක් ඒකෙන්.එහෙම නොකර බැංකු ක්‍රමය මගින් මුදල් මෙරටට ගෙන්වීම දිරිමත් කිරීමට අය වැයෙන් අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

අද  අපි ඔබතුමාලා වෙනුවෙන් මිලියන 5.5 ක් ලබා දෙනවා. 2016 දී මිලියන 25 ක් දීලි තියෙනවා,2017 දී මිලියන17 ක් දීලා තියෙනවා.මේ අවුරුද්ද ඔක්තොබර් මාසය වෙනකොට  දැනට මිලියන 20 කට අධික මුදලක් රක්ෂණාවරණ වලින් නෙවෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයෙන් නැවත වතාවක් දීලා තියෙනවා.ඒක තමයි ලියාපදිංචි වීම තුළ ඇති වාසිය කියන එක තේරුම්ගැනීමට අත්‍යාවශ්‍යයි.මේවා රට ඉන්න මිනිස්සු තේරුම් ගත්තොත් විදේශ සේවා නියුක්ති කාර්යංශයට බැන බැන ඉන්නවා වෙනුවට ලියාපදිංචි වීමේ වාසිය, වටිනාකම තේරුම් ගනී කියලා මං විශ්වාස කරනවා.”
කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාව සදහා ගොස් විපතට පත්වන අවස්ථාව වන විට ලියාපදිංචි කාල සීමාව ඉක්මවා හෝ කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි මුදලට හිමිකම් කිව නොහැකි ශ්‍රමිකයින් සදහා සේවක සුභසාධක අරමුදල මගින් වන්දි මුදල් ලබාදෙයි.

2017 වර්ෂය තුළදී සේවක සුභසාධක අරමුදල මගින් ශ්‍රමිකයින් 113 දෙනෙකු සඳහා රු.22,900,000.00ක මුදලක් පිරිනමා ඇති අතර 2016 වර්ෂයේදී ශ්‍රමිකයින් 153 දෙනෙකු සඳහා රු.25,190,000.00ක මුදලක් කාර්යාංශය මගින් ලබාදී තිබේ. 2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයින් 98 දෙනෙකු වෙනුවෙන් රු.20,100,000.00ක මුදලක් පිරිනමා තිබේ.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී වන්සේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම්.මිස්බා, අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න