මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් - රාජිත 

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් - රාජිත 

ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

මානසික සෞඛ්‍ය පිළිබද අමාත්‍යවරුන්ගේ ප්‍රථම ගෝලීය සමුළුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී ඊයේ  (10) අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා-

“ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙම සමුළුව ඉතා වැදගත් වෙනවා. විවිධ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් රැසක් මෙම සමුළුවට සහභාගි වී සිටිනවා. එම නිසා ගෝලීය අදහස් හුවමාරුව ඉතා වැදගත්, ශ්‍රී ලංකාව තුල දශක 07 කට ආසන්න කාලයක් නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ ඇතැම් සෞඛ්‍ය දර්ශක සංවර්ධිත රටවල දර්ශක හා සම මට්ටමක පවතිනවා. නමුත් ජීවන රටාවේ වෙනස්වීම් හේතුවෙන් බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනයවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ජනගහනයෙන් සියයට 10 ක් පමණ විවිධ මානසික සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විදිනවා. ලක්ෂ 08 කට වැඩි පිරිසක් විෂාදයෙන් පීඩා විදිනවා. සියදිවි නසා ගැනීම් ද ගැටලුවක්. සමාජ ව්‍යුහය පවුල් ඒකක කඩාවැටිම නිසා මානසික සෞඛ්‍ය ගැටලු ඇති‍වෙනවා. දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබද ගැටලු ද දක්නට ලැබෙනවා. නමුත් පසුගිය දශක 02 ක කාලය තුල ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබදව අපගේ අවධානය යොමු කර තිබෙනවා. 2014 වසරේ දී සුනාමි ව්‍යවසනයෙන් පසු දේශපාලන කැපවිම මත මානසික සෞඛ්‍ය නගා සිටුවිම සදහා ජාතික සැළැස්මක් ක්‍රියාත්මක කළා. දිවයින පුරාම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කළ අතර 2005 -2015 කාල සීමාව තුල ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරිමට පියවර ගත්තා.”

“මානසික සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීමේ දී මානව සම්පත් සංවර්ධනය අනිවාර්යයි. එම නිසා මානසික සෞඛ්‍ය වෛද්‍යවරුන් වැඩි කිරිමට විවිධ පියවර ගෙන තිබෙනවා. කාර්ය මණ්ඩල වැඩි කළ අතර, වෛද්‍යවරුන්ට විධිමත් පුහුණුවක් ද ලබාදුන්නා. හෙද හෙදියන්ට මානසික සෞඛ්‍ය පිළිබද වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් ක්‍රියාත්මක කළා. මානසික සෞඛ්‍ය පිළිබද

වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් පත් කරනු ලැබුවා. ජාතික මට්ටමේ සිට ග්‍රාමිය මට්ටම දක්වා පාසල්, ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. ජංගම සායන, පුනරුත්ථාපන වැඩසටහන් දියත් කළා. ඒ සදහා ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ද හිමි වුනා. මානසික රෝගීන් පිළිබදව සමාජය තුල පවතින අයහපත් ආකල්ප තුරන් කළ යුතුයි. විවිධ මිථ්‍යා මත, මානසික රෝගීන් පහත් කොට කටයුතු කිරිම අවම කළ යුතුයි. එහිදී මාධ්‍ය විශාල මෙහෙවරක් කළ යුතුයි. ඒ සදහා මාධ්‍යයට හැකියාවක් තිබෙන බව මගේ හැගීමයි. මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි ලෙස මානසික සෞඛ්‍යයට අදාල ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් වැළකී සිටිය යුතුයි. විවිධ සංවේදී කරුණු, සියදිවි හානි කර ගැනීම්, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, වැනි කරුණූ වාර්ථා කිරීමේ දී මාධ්‍ය දැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව තුල දුම්කොළ භාවිතය අවම කිරිම සදහා ද විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මානසික සෞඛ්‍ය නගා සිටුවීම ශක්තිමත් ලෙස සිදුවිය යුතුයි. සමාජීය හ සංස්කෘතිත අවබෝධයකින් මානසික සෞඛ්‍ය ගොඩනැංවිය යුතුයි. ජනතා අරගල, සියදිවි නසාගැනීම් වලට බලපාන හේතු හදුනා ගනිමින් ඊට පිළියම් යෙදිය යුතුයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න