දිදුලන හදවත වැඩට බහී ! ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි !!

දිදුලන හදවත වැඩට බහී ! ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි !!

කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරිකයන් එක්ව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිර්මාණය කරන ලද පුළුල් එකමුතුවක් ලෙස `දිදුලන හදවත` සංවිධානය `ගේම් එපා ! ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවකට යනු !!` යන තේමාව යටතේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබේ. 

වත්මන් දේශපාලන අර්බුදය ජනතාවාදී ලෙස ජයගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කරන බව `දිදුලන හදවත` ප්‍රකාශකයෙක් අප සමග පැවසීය. 
ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ හා කණ්ඩායම්වලට `එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක්` නිර්මාණය කරන ලෙස තමන් බලකරන බවත්, එම ඉල්ලීම මුල් කොටගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔවුන්ගේ ඉල්ලීම පහත දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල නායක නායිකාවනි, සාමාජික සාමාජිකාවනි,

දිදුලන හදවත යනු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙන - පෙනී සිටින - සටන් කරන මිනිස් කුලකයකි. ශ්‍රී ලංකා දේශපාලනයෙහි වත්මන් අර්බුදය ජනතාවාදී ලෙස ජයගනු පිණිස, දිදුලන හදවත ඔබ සියලු දෙනාගෙන් නිශ්චිත ඉල්ලීමක් කරයි.

වසරක කාල රාමුවකට යටත්ව, `ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක`ට ගොස්, මූලික ප්‍රජාතන්ත්‍රීය පදනම වහා ම ස්ථාපිත කරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවුණහොත්, කුමන්ත්‍රණයක් කුමන හෝ අන්දමකින් සාධාරණීකරණය කිරීමේ සහ එම අර්බුදයේ මූලයන් මගහැරයාමේ දේශපාලන පාපයට හිමි වන්දිය, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවට ගෙවන්නට සිදුවනු නිසැකය.

ඒ ඒ දේශපාලන අනන්‍යතාවය පවත්වාගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක් වෙත ඒකරාශී වී පොදු එකඟතාවයකට පැමිණෙන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

එම පොදු එකඟතාව මත ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කළ යුත්තේ මතු සඳහන් අරමුණු සාක්ෂාත් කිරීම උදෙසාය.

01. එම භාරකාර ආණ්ඩුව, ශිෂ්ඨසම්පන්න දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නක් විය යුතුය.

02. එම භාරකාර ආණ්ඩුව, වසරක් තුළ පැලැස්තර විසඳුම්වලට නොයා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් සම්මත කරන්නක් විය යුතුය.

03. එම භාරකාර ආණ්ඩුව, මැතිවරණ - පොලිස් - අධිකරණ ආදී කොමිෂන් සභාවන් සැබෑ ස්වාධීන හා ශක්තිමත් තත්ත්වයක් කරා බලාත්මක කරන්නක් විය යුතුය.

04. එම භාරකාර ආණ්ඩුව, ජාතිය සහ ආගම පළිහක් කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ප්‍රවාහයන්ට සහමුළින් එරෙහි වන්නක් විය යුතුය.

05. එම භාරකාර ආණ්ඩුව, උතුර දකුණ වතුකරය ආදී ප්‍රාදේශීය භේදයන්ගෙන් මෙන් ම ජාති ආගම් ලිංගිකත්වය ආදී භේදයන්ගෙන් තොරව පුරවැසි අයිතිවාසිකම් මෙන් ම ස්වභාවික හා සංස්කෘතික පරිසරය ආරක්ෂා කරන්නක් විය යුතුය.

06. එම භාරකාර ආණ්ඩුව, ගජමිතුරු සංග්‍රහය පිටුදකින - ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්නක් විය යුතුය.

07. එම භාරකාර ආණ්ඩුව, මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී පක්ෂ මාරු කිරීම නීත්‍යානුකූලව නිශ්චිතව අවසන් කරන්නක් විය යුතුය.

කවර දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නට වුව, මූලික ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය නිර්මාණය කළ යුතුය යන ස්ථාවරයෙහි පිහිටා මෙම යෝජනාව ඉදිරිපත් කරන අතර, මෙම තත්ත්වය නිසි බරින් තේරුම් ගෙන, මේ පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බලා ක්‍රියාත්මක වෙන ලෙස අපි ඔබෙන් දැඩිව ඉල්ලා සිටින්නෙමු.

දිදුලන හදවත 2018 නොවැම්බර් 17

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න