විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත කර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව තහවුරුකර ඇති අතර එය පිළිගැනීමට නොහැකි නම් කුමන්ත්‍රණ ආණ්ඩුව කළයුතුව ඇත්තේ විශ්වාසභංග යෝජනාවට එරෙහි යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කර පෙන්වීම බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ජනාධිපතිවරයා තමන්ගේ නිවේදනය හරහාත් ඔපු කරනවා විශ්වාසභංග ක්‍රියාවලිය ස්ථාවර නියෝග අනුව සිදුව ඇති බව. දැන් ප්‍රශ්නය තියෙන්නේ එතැනදී ජනාධිපති කැමති ආකාරයට සිදුවුණාද යන්න සම්බන්ධව විතරයි. ඔහුට එල්ලෙන්න තියන එකම වැලත් එය විතරයි. නමුත් පෞද්ගලික රුචි අරුචිකම් නෙවෙයි වැදගත් වෙන්නේ, කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරය නීතියේ හැටියට කටයුතු කරලා තියනවා නම් ඊළඟ පියවරට යාමයි තිබෙන්නේ.
පාර්ලිමේන්තුව විධායකයට යටත් නෑ : වරද සිදුකල කෙනා එය නිවැරදි කල යුතුයි !
අපි දන්නවා පාර්ලිමේන්තු ක්‍රියාවලියක හරි වැරදි තීරණය කරන්නේ පාර්ලිමේන්තුවයි. එහි අවසන් තීන්දුව ප්‍රකාශ කරන්නේ කතානායක තුමායි. ඒ අනුව පාර්ලිමේන්තුව විශ්වාස භංග යෝජනා 2 ක්ම සම්මත කර තිබෙනවා. ඊට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ක්‍රියාත්මක වෙලා ස්වයංක්‍රීයවම මේ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ධූර නැතිවෙලා තියෙනවා. එතැනින් පසුව සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි අය කැඳවා නව ආණ්ඩුවක් හැදීමයි. එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයා විසිනුයි.
ඒ නිසා මේ දක්වාම අපි රටේ ස්ථාවරත්වය රැකගන්න, රට අරාජිකවීම වලක්වා ගන්න දැඩි කැපවීමකින් සහ ශික්ෂණයක් ඇතුව, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරලා තියනවා. තවදුරටත් ඒ බව පිළිගන්න ජනාධිපතිවරයා සුදානම් නෑ නම් ඔක්තෝබර් 26 සිට පමණක් නොවෙයි, මෙතැන් සිට රටට, ජනතාවට සිදුවන සෑම විපතකටම මේ ජනාධිපති වගකිව යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රට කරවන ලියවිල්ලක් විතරක් නෙවෙයි, එය පාලකයන් සහ ජනතාව අතර සම්මුතියක් තිබෙන ගිවිසුමක්. ඒ ගිවිසුම විවිධ සූත්‍ර දමා උල්ලංඝනය කරනවා කියන්නේ බරපතල වරදක්. චේතනාන්විතව එය උල්ලංඝනය කිරීමක් මෙතන සිදුවෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිට කියනවා මේ වරද ඔබ නිවැරදි කරන්න, නැතිනම් ඒ වරදේ වන්දිය ඔබ ගෙවීම අනිවාර්යය බව.

