ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් රජය විසුරුවා හැරීමේ සිදුවීම සමඟ සන්සන්දනය කිරීමේ දී තත්ත්වය,
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විධායක ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බරපතල වැරදි අවබෝධයක් පවතින බව පෙනී යන කරුණකි. පාර්ලිමේන්තු සම්ප්රදාය යටතේ ජනාධිපතිවරයාට සිය ධුර කාලය තුළ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. ( 19 වන සංශෝධනය අනුව වසර හතර හමාරකින් පසු) ඒ අනුව යමින් ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අභියෝගයට ලක් කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති මූලිකම ප්රශ්නයයි.
මේ සම්බන්ධයෙන් මා දරන අදහස මා වෙනත් අවස්ථාවකදී ප්‍රකාශ කර තිබේ. මෙම සටහනේ අරමුණ වන්නේ තවත් මතබේදාත්මක කරුණක් නිරවුල් කිරීමයි. ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රකාශයේ 1975දි ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ගාෆ් වයිට්ලම් ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පූර්ව නිදර්ශනයක් ලෙස ඉදිරිපත් කළේය.
මෙම ප්‍රකාශය ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ සඳහන් අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම හා සම්බන්ධ විධිවිධාන බරපතල ලෙස වරදවා වටහා ගැනීමක් ලෙස සඳහන් කළ හැකිය. වයිට්ලම් මහතා ඉවත් කිරිම සම්බන්ධ කරුණු කටුක හා මතබේදයට තුඩු දෙන දේශපාලන තත්වයකි. ඒ සියල්ල මෙහි සටහන් කිරීම අතිශය සංකීර්ණ වනු ඇත. නමුත් මෙම ඉවත් කිරීම හා විසුරුවා හැරීම සඳහා ආසන්නතම හේතුව වූයේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඒ වන විටත් අනුමැතිය ලැබී තිබූ විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් සඳහා අනුමැතිය ලබා දිම සෙනෙට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.
ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 57 ව්‍යවස්ථාවේ සඳහන් ද්විත්ව විසුරුවා හැරීම සහ මැතිවරණයට සම්බන්ධ කරුණු අනුව යමින් අග්‍රාණ්ඩුකාර ජෝන් කෙර් අගමැති වයිට්ලම්ට විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් සුරක්ෂිත කර ගත නොහැකි එනම් සම්මත කළ නොහැකි ආණ්ඩුවක් ඉවත් විය යුතු බවට උපදෙස් දුන්නද එය අසාර්ථක විය.
ඉන් පසුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් විපක්ෂ නායක මැල්කම් ෆ්රෙසර්ගෙන් පහත කරුණු සහතික කර ගත්තේය. ඒ ඔහු භාරකාර අගමැති ලෙස පත් කළහොත් එම වගකිම් ඉටු කරන බවට සනාථ කර ගනිමන්ය.
1) ආරක්ෂාව සම්බන්ධයෙන් විසර්ජන පනත් කෙටුම්පත් සෙනෙට් මණ්ඩලය හමුවේ අනුමත කර ගන්නා බවට වග බලා ගැනීම.
2) මන්ත්‍රි මණ්ඩල දෙකම විසුරුවා හැර මහ මැතිවරණයක් සඳහා යොමු වීමට අග්රාණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දීම.
3) සිය භාරකාර කාලය තුළ රජයේ පත් කිරීම් සම්බන්ධ ප්‍රතිපත්ති ඒ අයුරින්ම පවත්වාගෙන යන බවට සහතික වීම .
මෙකි සහතික කිරීම් වලින් සමන්විතව අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති වයිට්ලම්ව ඉවත් කළ අතර භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෆ්රේසර් ව පත් කර මන්ත්‍රී මණ්ඩල දෙකම විසුරුවා හැරියේය. මෙසේ ආයතන දෙකම විසුරුවා හැරිය හැකි වනුයේ ඔස්ට්‍රේලියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 57 ව්‍යවස්ථාව යටතේ පමණි.
මීට අමතරව වයිට්ලම් රජය යටතේ පැවති තවත් අස්ථාවර පනත් කෙටුම්පත් මෙම ද්විත්ව විසුරුවා හැරීම සඳහා හේතුකාරක විය. මෙහිදි ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් සිද්ධිය හා ශ්‍රී ලංකාවේ වර්තමාන වියවුල සම්බන්ධයෙන් වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කරුණු හා නීති කිහිපයක් සඳහන් කිරීම මෙහිලා වැදගත් වේ.
1. සාම්ප්‍රදායික වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ රාජාණ්ඩුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලබා දීමේ තත්වය වැරදිසහගතය. අවම වශයෙන් 19 වන සියවසේ මුල් භාගයේ සිට රාජාණ්ඩුව අගමැතිගේ උපදෙස් ලබා ගැනීමෙන් සීමා වූ අතර අගමැතිවරයා ගේ බලය සම්මුතිය මගින් සීමා කරන ලදි.
කෙසේ වෙතත් එක්සත් රාජධානියේ කිරීටය සතු අභිමත බලය 2011 ස්ථාවර කාලීන පාර්ලිමේන්තු පනතේ 14 වන වගන්තිය මගින් ඉවත් කරන ලදී.
ඒ අනුව මෙම පනත මගින් පස් වසරකට පත් වන ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිය හැකිවන්නේ :
(අ) රජය තවදුරටක් පවත්වාගෙන යා නොහැකි බවට විශ්වාස භංගයක් ගෙන ඒමෙන්.
(ආ) ව්‍යවස්ථාදායකය විසින් සිදු කරන විසුරුවා හැරීමේ ඉල්ලීමක් එකී ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීමෙන්,
1. ශ්‍රී ලංකාවේ 19වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඉහත කොන්දේසි දෙක ඔස්සේ සීමා කර තිබේ.
2. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 වගන්තිය අනුව අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය යටතේ සේවය කරයි. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට එවැනි බලයක් නොමැත.
ඔහු හෝ ඇය අග්‍රාමාත්‍යවරයා තෝරා ගත යුත්තේ ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ලෙස වන අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීම ද සිදු කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවටම පමණි.
3. වයිට්ලම් රජය මෙන් නොව වික්‍රමසිංහ අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ සහාය ලබාගෙන ඇති අතර රජයේ පුනරාවර්තන වියදම් සඳහා සුරක්ෂිත අනාගත අරමුදල් ලබා ගත හැකි බව සනාථ කර තිබේ.
4. ශ්‍රී ලංකාව යනු වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ සම්භාව්‍ය පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රාජ්‍යයක් නොවේ. ඒ අනුව ජනාධිතිපතිවරයාට පරමාධිපත්‍ය බලයක් හිමි නොවේ. ඔහුගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෘවේ අනු ව්‍යවස්ථා සහ වගන්තිවලින් සීමා වී තිබෙන බව නිරීක්ෂණය කිරීමේදි කිව යුතුය.
මහාචාර්ය සුරි රත්නපාල
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය
ඔස්ට්‍රේලියානු නීති ඇකඩමියේ සාමාජික
නීතිඥ - ශ්‍රී ලංකාව