Language Switcher

V2025

සිරිසේනගේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න කළ නඩුව : අද විභාගයට !

ජනාධිපති සිරිසේන මානසික සෞඛ්‍ය යහපත් දැයි පරීක්ෂා කිරීම සඳහා මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පසුගිය දෙසැම්බර් 10 වෙනිදා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම හෙට ජනවාරි 07 වෙනි සඳුදා විභාගයට ගැනීමට නියමිතය.

මානසික වෛද්‍ය ආඥා පණත යටතේ අංක CA/385:/2018 දරණ පෙත්සම ගොණුකරන ලද්දේ තක්ෂිලා ජයවර්ධන විසින් වන අතර ඇයගේ නීතිඥවරයා වූයේ සිසිරකුමාර සිරිවර්ධන නීතිවේදියා ය.

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව සිසිරකුමාර සිරිවර්ධන මාධ්‍ය අමතා කියා සිටියේ මානසික රෝගී පුද්ගලයාගේ ආරක්ෂාව සඳහාත් ඔහුගෙන් පුරවැසියන්ව ආරක්ෂා කර ගැනීම සඳහාත් ඉහත ආඥා පණත ක්‍රියාත්මක වන බවයි.

එසේම ජනාධිපතිට අදාල මුක්තිය ඇත්තේ සිහිබුද්ධියෙන් සිටීනම් පමණක් වන අතර මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක හිඳින්නේ නම් ඔහුට මුක්තියේ රැකවරණය අහිමි වන බවද නීතිඥවරයා එදින පැවසීය.

සිරිසේනගේ සහයට අමරවීරගේ පෙත්සම !

ඉහත පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ජනවාරි 3 වෙනිදා එජනිස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර විසින් අතුරු පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ පෙත්සම්කාරියගේ පෙත්සම පදනම් විරහිත බව පවසන ලෙසත් ඇය සත්‍ය කරුණු වසන් කරමින් එය ඉදිරිපත් කර ඇති බවත්ය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ මෙවැනි පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහි මෙවැනි නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද කියමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන්නැයි එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.