Image

71 වන නිදහස් දිනයට : කතානායක කරූගේ නිවේදනය මෙන්න !

71 වන නිදහස් දිනයට : කතානායක කරූගේ නිවේදනය මෙන්න !

71 වන නිදහස් දිනය නිමිත්තෙන් කතානායක කරූ ජයසුරිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

ඉතිහාසය පුරාම මිනිස් නිදහස අහිමි කළ බලවේග නිර්මාණය වූයේ ද මිනිසුන් අතරින්මය. විටෙක අනේකවිධ වධ බන්ධන හා බලහත්කාර යටපත් කිරීම් ද තවත් විටෙක නොයෙකුත් වරප්‍රසාද වරදාන මගින් ආත්මාර්ථය සංතර්පනය කිරීම්ද එහිදී යොදා ගනු ලැබූහ.

එම සියල්ල හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් වෙති.

සැබැවින්ම එම උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලය වන නිදහස යම් දේශයකට ජන සමාජයකට හෝ පුද්ගලයෙකුට අතිශයින්ම ආශ්වාදනීය ගෞවරනීය හැඟීමකි. එම හැඟීම මූර්තිමත් කරමින් ජාතික නිදහස සමරන මේ මොහොතේ රටක් ජාතියක් ලෙස අප විසින් ජය ගත යුතු අභියෝග පිලිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම අතවශ්‍ය වෙයි. අනාගත පරපුරට වඩාත් නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමත් නිදහස උදෙසා ඉතිහාස වංශ කථාව පුරාම ස්වකීය දිවි පූජා කළ විරුවන්ට නිසි ගෞරවය පුද කිරීමත් කළ හැක්කේ එවන් ප්‍රවේශයක් තුලිනි.

නිරන්තර දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගත යුතුව තිබේ. නිර්මාණශීලිව නව ඉසව් හඹා යමින් ස්ථීරසාර ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත යුතුව තිබේ. ජාතික, ආගමික, සංහිඳියාව එහි පදනම බවට පත් වීම අත්‍යවශ්‍යය.

මත් උවදුරින් නිදහස් වීමෙහි ලා රට පුරා විහිදුනු පුළුල් මෙහෙයුමකට සමාජයේ සියළු බලවේග පෙළ ගැසිය යුතු මොහොත එළඹ තිබේ. කිසි ලෙසකින්වත් අතපසු කළ ‍නොහැකි එම ඉලක්ක ජය ගැනීමට මෙම නිදහස් සමරුවේ දී සමස්ත ශ්‍රී ලාං‍‍කේය ජාතියේම අධිෂ්ඨානය යොමු වේවාය යන්න මගේ පැතුමයි.
කරු ජයසූරිය

කථානායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න