Language Switcher

V2025

ඇමරිකන් – ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම : ගෝඨත් අත්සන් කළා - වාසු

පොහොට්ටුවේ පාර්ශව ජාතික ආරක්ෂාව විනාසයි කියමින් උලුප්පා දක්වන ඇමරිකන් – ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම පසුගිය මහින්ද රාජපක්ෂ දස අවුරුදු පාලන සමයේදීද අත්සන් කළ බව එම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස එවකට ගෝඨභය රාජපක්ෂ විසින් මෙම ඇමරිකාව සමග අත්සන් කළ අවස්ථාවේ තමන් ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ වෙත ලිඛිතව දැන්වූ බවද ඔහු පවසයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ බව වසන්නේ සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස පහතින් පල වේ…

ඇමෙරිකන් ගිවිසුම ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔබලා ප්‍රශ්න කළා. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?

අපේ රටේ ස්වෛරීභාවය, අපේ නොබැඳි ප්‍රතිපත්ති, අපේ රටේ නිවහල්භාවය, අපේ රට විවිධ මිලිටරි ගැටුම්වලට කලාපයේ ඈඳී ගොස් රට අනතුරකට භාජන වීම, මේවයින් මිදී අපේ රට ඉදිරියට ගෙනයෑමට තියෙන වුවමනාව අපට මේ මොහොතේ ප්‍රධාන කාරණය වුණා.

හැබැයි 1995 ඔබ මන්ත්‍රි ධුරය දැරූ චන්ද්‍රිකා පාලනය යටතේ නේද මේ ගිවිසුම අස්සන් තැබුවේ?

ඒක කවුරුත් දන්නෙ නැහැ. ඕක අස්සන් කරපු බව දන්නෙත් නැහැ. මීට පෙර එවැනි මෙහෙයුම් සිද්ධ වූ බව දන්නෙත් නැහැ. ඒවා පළමු වතාවට වාර්තා වුණේ අයිලන්ඩ් පත්තරේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එදා යම් ගේමක් ගැහුවා කියලද ඔබ කියන්නෙ?

 ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක තරම් තියුණු, යටි අරමුණු ඇතිව බොහෝ කටයුතු කරපු වෙනත් ජනාධිපති කෙනෙක් හිටියෙත් නැහැ. නායිකාවක් හිටියෙත් නැහැ.

 ඒ බව ඇයගේ අද ඉන්නා ස්ථාවරයෙන් ඉතා හොඳින් සනාථ කර තිබෙනවා. අද එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව ගැට ගසා තැබීමටත් මේ ආණ්ඩුව බිඳී යෑමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට ඉන්නා වූ ප්‍රධාන මිතුරිය බවටත් ඇය පත් වී තිබෙනවා. මේ අනුව එදා කිසිවෙක් නොදැන ඇයව බලයට පත් කරන්න කටයුතු කළ අපි කිසි කෙනෙක් නොදැනුවත්වම මෙවැනි බොහෝ දේවල් ඇති කර තිබෙනවා, පෞද්ගලීකරණයන් හතළිස් ගණනක් ඇතුළුව.

 ඔබ දැන් සහාය දක්වන කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ පාලනය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙවැනි වරට මෙම ගිවිසුම අස්සන් තැබුවා?

 මම සහාය දෙන කණ්ඩායමක් ජනාධිපතිවරණය සම්බන්ධව තීරණය වී නැහැ.

 මම අදහස් කළේ දේශපාලනිකව ඔබ සහාය දක්වන කණ්ඩායම?

 මම ඉන්නෙ දැනට ඒකාබද්ධ විපක්ෂයේ.

 ඔබ ප්‍රශ්නෙන් මඟ හරිනවා. මම අහන්නෙ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගිවිසුමට අස්සන් තබද්දී කටවහගෙන හිටියෙ ඇයි කියලා?

 මම කතා කළා. මම ජනාධිපතිතුමාට මේ ගැන විරෝධය පළ කළා. ගෝඨාභය මහතායි, ඇමෙරිකන් තානාපති කාර්යාලයයි අස්සන් කරපු Cross Servises agreement (හරස් සේවා ගිවිසුමට) විරුද්ධව මම ලිඛිතව වහාම ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා, අපි මේකට නෙමේ මේ ආණ්ඩුවට ආවෙ කියලා. එතකොට ජනාධිපතිතුමා මට කියලා එව්වා බයවෙන්න එපා වාසු, මේ ඇමරිකන්කාරයෝ දෙන්නෙක් අස්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක වෙන්න මං ඉඩදෙන්න නැහැ කියලා.

 අද ක්‍රියාත්මක කරන්න යන්නෙත් ඒ ගිවිසුම නේද?

 අද ක්‍රියාත්මක කරන්න යන්නෙ චන්ද්‍රිකා ගිවිසුම. ඒ ගිවිසුම අලුත් කරලා තියෙනවා යූ.එන්.පී.ය.

 ඊට විරුද්ධ ඔබලාගේ බලපෑම ප්‍රමාණවත්ද?

 මදි, ඉතාමත්ම මදි. හරි නම් මේ වෙලාවේ රටේ පෙළපාළි ආරම්භ වෙන්න ඕනෑ.

(මව්බිම)