Language Switcher

V2025

ඇස් උඩයන තීන්දුවක් නිසා උඩුවේ නිදහස් !

නිසි අවසරයක් නොමැතිව නීති විරෝධී ආකාරයට  අලි පැටියෙකු තමා සන්තකයේ තබාගෙන සිටි උඩුවේ ධම්මාලෝක නමැති චීවරධාරියාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවේ චෝදනා වලින් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න නියෝග කර ඇත.
 
තීන්දුව ඊයේ (01) ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න විනිසුරුවරයා අවම වශයෙන් විත්තිකරුට අවවාදයක් හෝ ලබදී නොතිබීම ගැන මේ වන විට නීති ක්ශේත්‍රයේ ද දැඩි විවේචනයක් මතුව ඇත.
 
විත්තිකරුට  එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා ප්‍රමාණවත් ලෙස ඔප්පු වී නොමැති බවත් අලි පැටියා ධම්මාලෝක  භාරයේ තබා ගත් බවට පැමිණිල්ල විසින් යම් යම් සාක්කි ඉදිරිපත් කළද අලි පැටියා ධම්මාල‌ෝක  භාරයේ තබා ගත් බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න එහිදී  පවසා ඇත.
 
එමෙන්ම මෙම නඩුවට අදාළව එවකට අමාත්‍යවරයෙකු ව සිටි වසන්ත සේනානායක දුන් සාක්ෂි ද පිළිගත නොහැකි මට්ටමක පවතින්නේ යයි විනිසුරුවරයා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
 
ඒ අනුව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් උඩුවේ ධම්මාලෝක නිදොස් කොට නිදහස් කරන බවට විනිසුරුවරයා තීන්දු කෙළේය.
 
මෙහිදී අලි පැටියාගේ අයිතිය වෙනුවෙන් උඩුවේ ධම්මාලෝක පෙනී නොසිටි බැවින් අලි පැටියා වන ජීවී දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස විනිසුරුවරයා නියෝග කෙළේය. 
 
මහාධිකරණ විනිසුරුගේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර ඒ අවස්ථාවේ දීම අධිකරණයට දැනුම් දුන් බවත් වාර්තා වෙයි.
 
2015 වසරේ ජනවාරි මස 28 වනදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගැනීම තුළින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.
 
මෙම අලි පැටවා, පෙර දිනක පැවති පෙරහැරට ගෙනවිත් තිබූ බවත් ඉන් පසුව බල්ලන් බළලුන් පන්සල්වල දමා යන්නා සේ අලි පැටියා දමා ගොස් තිබී තමන් වහන්සේ හදා වඩාගත් බවත් උඩුවේ ධම්මාලෝක පොලීසියට කට උත්තර ලබාදෙමින් ප්‍රකාශ කර තිබිණ.
 
යෝශිත රාජපක්ෂගේ මිත්තනියගේ සුප්‍රසිද්ධ මැණික් මල්ලේ සාක්ෂියට දෙවෙනි නොවන උඩුවේ ගේ සාක්ෂිය මහාධිකරණ විනිසුරුවරයා පිළිගෙන තිබෙන බව ඔහුගේ තීන්දුවෙන් පෙනී යයි. අලි පැටියා බලපත්‍රයක් නොමැතිව අහසින් කඩා වැටුනාද කියා ‌හෝ  විනිසුරුවරයා යුක්තිප්‍රේමී ජනතාවට ප්‍රකාශ කළ යුතුව තිබිණ. 
 
අඩුම ගණනේ හොර බඩුවක් ලඟ තබා ගැනීමේ වරද  ගැන හෝ විනිසුරුවරයා මෙහිදී සලකා බලා නැති බව පෙනී යන්නේ ධම්මාලෝකට එරෙහිව අවවාදයක් හෝ සිදුනොකළ නිසා ය.