Language Switcher

V2025

රාජකීය විදුහල සමග අකිලට ඇති රාජකීය වෛරය මොකක්ද ? ආදි සිසුන් විමසයි

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ.අබේරත්න වෙත ස්ථාන මාරුවක් ලබාදී විදුහල්පති ධුරය සඳහා අත්දැකීම් අඩු නවකයෙකු පත්කිරීමට තිබෙන සූදානමක් පිළිබඳ ආදී ශිෂ්‍ය සංගම් විරෝධය පළකරයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ විදුහල්පති තනතුරේ වසර 3 1/2 ක පමණක් අත්දැකීම් ඇති නවකයකු පත්කිරීම හරහා දේශපාලන සහ අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුවී ලංකාවේ අංක එකේ සහ කීර්තිමත් පාසලක් ලෙස රාජකීය විද්‍යාලය සතු අභිමානය නැතිවී පාසල කාබාසිනියාවී යාමේ අවධානමක් තිබෙන බවය.

එසේම දැනට පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන බී.ඒ.අබේරත්න මහතා කිසිඳු ගැටලුවකින් තොරව සිය පරිපාලන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බවත් ඒ හමුවේ පාසලට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමක් සිදුකර කරන්නට යන විදුහල්පති මාරුව බරපතල සැකසංකා මතුකරන්නක්ද වන බව ඔවුන් පෙන්වා දෙයි.

පාසලේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටින පාසලේ සියලු ආදී ශිෂ්‍ය සංගම් මේ සම්බන්ධව දැඩි විරෝධය දක්වා සිටින බවත් රටේ අග්‍රාමාත්‍යවරයාගේ සිට කැබිනට් අමාත්‍යවරුන් රැසකගේ නැණ පෑදු රාජකීය විද්‍යාලය මෙලෙස අවධානමේ හෙළීම වළක්වා ගැනීම වෙනුවෙන් සිය යුතුකම පාසල වෙනුවෙන් ඉටු කරන්නට කිසියම්හෝ මැදිහත්වීමක් ඔවුන් වෙතින් ද අපේක්ෂා කරන බවත් ආදී ශිෂ්‍ය සංගම් අවධාරණය කරයි.

මෙහිදී ඔවුන් පෙන්වා දෙන විශේෂ කරුණක් වන්නේ රටේම විදුහල්පතිවරුන් 60කට ආසන්න ප්‍රමාණය මාරු කිරිමට ගොස් රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් වාරණයට ලක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ඒ නැතිවූ කීර්තිය තවත් පළුදු කරගැනීමට ගන්නා තවත් උත්සාහයක් ලෙසද මේ කටයුත්ත සැලකිය හැකි බවයි.

ඒ දැනට සිටින විදුහල්පතිවරයාට ස්ථාන මාරුව ලබාදී ඒ වෙනුවට යෝජනා කර ඇති අඩු පළපුරුද්දක් සහිත නවක විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගේ සමීපතමයකු බවටද තොරතුරු අනාවරණයවී තිබීමය.

තවද අධ්‍යාපන අමාත්‍යවරයාගේ සමීපතම හිතවතියක ලෙස සැළකෙන සහ කලක් රාජකීය විද්‍යාලයේ මධ්‍යම අංශයේ උප විදුහල්පතිනියකද සේවය කල තැනැත්තියකගේ පුත්‍රයෙකුට රාජකීය ක්‍රිඩා වර්ණ වලට ඉහලින් සැලකුණු ‘රාජකීය කිරුල’ ලබා දෙන ලෙස විදුහල් බලධාරීන්ගෙන් කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමද මේ හදිසි සහ අදිසි විදුහල්පති මාරුව පිටුපස ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරන්නේ ඉහත තැනැත්තියගේ පුත්‍රයාට අදාළ සම්මානය ලබාගැනීම වෙනුවෙන් සුදුසුකම් සපුරා නොසිටි බවත් ඒ නිසාම ‘රාජකීය කිරුල’ ලබාදීම අදාළ ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කෙරුනු බවය. එහෙයින් සුදුසුකම් නොමැති සම්මානයක් බලහත්කාරයෙන් ගැනීමට යාම මෙන්ම ඒ මත විදුහල්පතිගෙන් පළිගැනීමට උපකාර කිරීම අශෝභන සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් ආණ්ඩුව කරවන පක්ෂයේ මහ ලේකම් ලෙසත් කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාවක් බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

තවද ඉතා ප්‍රභල ආදි ශිෂ්‍ය සංගමයක් ඇති රාජකීය විදුහලට, ඇමතිලාට අවශ්‍ය ආකරයට ලමුන් ඇතුල් කිරීම පහසු නැති නිසා, ආදි ශිෂ්‍යන් පාසැලෙන් ඈත් කර පාසැල ආදායම් මාර්ගයක් කර ගැනීමට නොහැකිව තතනන නිළධාරින්ගෙන් විදුහලේ කටයුතු වලට දිනපතා එල්ලවන විවිධ බලපෑම් වල තවත් දිගුවක් ලෙසත් මෙය පෙනීයන බවද ආදී සිසුන් අවධාරණය කර සිටියි.

එවැනි පසුබිමක මේ සිදුකිරීමට යන අපකීර්තිමත් සහ අත්තනෝමතික කටයුතු මඟින් සිදුවන්නේ අධ්‍යාපනයේ තෝතැන්නක් බඳු, ප්‍රමුඛතාවයෙන් දිවයිනේ දක්ෂම සිසුන් අතුලු වන, දිවයිනේ ප්‍රමුඛතම පාසලක් අගාධයට වැටීයාම බවත් ඒ ජාතික අපරාධයට උරනොතබන ලෙස ඉතාම ගෞරවයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙතින් ඉල්ලා සිටින බවත් ආදී සිසුන් දන්වා සිටියි.