පාස්කු ඉරිදා දිනයේ (21) මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක මණ්ඩලය මේ බව සදහන් කර ඇති අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරන අතර, සියළු ආකාරයේ ත්‍රස්ත ක්‍රියා ජාත්‍යන්තර සාමයෙන් සහ ආරක්ෂාවට තර්ජනයක් බවත් සදහන් කර ඇත.
එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන පරීක්ෂණවලට සහය වන ලෙස සියළු රටවලින් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සදහන්වේ.
ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15කින් සමන්විත වන අතර ඉන් 5ක් එහි ස්ථීර සාමාජිකත්වය දරයි.
චීනය, ප්‍රංශය, රැසියාව, අමෙරිකාව, එක්සත් රාජධානිය එහි ස්ථීර සාමාජිකයින් ය.
එහි ප්‍රඥප්තියට අනුව සෑම රටකට ම එක් ඡන්දයක් හිමි වේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ම සාමාජික රටවල් ආර්ක්ෂක මණ්ඩලයේ තීරණ සමග එකඟ විය යුතු ව ඇත.
තව ද ආරක්ෂක මණ්ඩලය තුළ කිසියම් සාමය හා ආරක්ෂාව සම්බන්ධ යෝජනාවක් සම්මත වීමට නම් ස්ථීර සාමාජික රටවල් 5 ම එකඟ විය යුතු ය.
ලෝක සාමයට පවතින තර්ජන, කළහකාරී සිදුවීම් පිළිබඳ මෙම මණ්ඩලය අවධියෙන් පසුවන අතර එවැනි අර්බූද සාමකාමීව විසඳීමට හෝ විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම මණ්ඩලයට බලය තිබේ. සමහර කාරණාවන්හිදී අන්තර්ජාතික සාමය හෝ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුදමය බලය යෙදවීම සඳහා යෝජනා සම්මත කිරීමට ද මෙම මණ්ඩලයට බලය හිමි වේ.

