රටම බරපතල ව්‍යසනයකට මුහුණදී සිටියදී එයින් වාසි ලබාගැනීමට කටයුතු කරන කවරෙකු වුවද එවැන්නන් ත්‍රස්තවාදීන් තරමටම භයානක බව සිනමාවේදී අශෝක හඳගම අවධාරණය කරයි.
ඔහු ඒ බව සඳහන් කලේ 'අනිද්දා' පුවත්පතට වසරක් පිරිම නිමිත්තෙන් කොළඹ BMICH හි ඊයේ (29) පස්වරුවේ පැවැති සංවත්සර සභාව අමතමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී දින කිහිපයක් යන්නට පෙර තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවත් පසුව ඉස්ලාම් අන්තවාදය විනාශ කරන බවත් සදහන් කර සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය.
ජනතාව තමන්ව ඉල්ලන බවත් ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට හේතු වූයේ ඒ බවත් පසුව ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් සමස්ථ රටක් කම්පාවට පත්ව සිටින මොහොතක, පවුල් දහස් ගණනක් හැඩූ කදුලින් සිටින මොහොතක ඔවුන්ගේ සිත් නිවා සනසනවා මිස ඒ හැගීම් උඩින් දේශපාලනය කරන්න යන්නේ නැත. ජනතාව ගැන යන්තමින් හෝ හැගීමක් ඇති අයෙකු එසේ කරන්න සිතුවත් කියන්න යන්නේ නැත.
එහෙත් තමන්ට අවශ්‍ය බලය පමණක් බවත් සමස්ථ ජාතියම කම්පනයට පත්ව සිටීම හෝ දරාගත නොහැකි ශෝකයට පත්වීම තමන්ට නම් අදාලම නැති බව ඔහු ඒ ප්‍රකාශයෙන් ඔප්පු කළේය.
එපමණක් නොව ප්‍රහාරය එල්ලවී සතියක් යන්නත් පෙර " ගෝඨාභය ජනාධිපතිවරණයට" සහ " ගෝඨාභය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සාර්ථකයි" කියමින් පුවත් පලකරන්නට ඔහුගේ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක විය.
මේ සියල්ල සිදුවූයේ රටේ ජනතාව ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වන තුරු හෝ රට ලේ විලක් වනතුරු ගෝඨාභය රාජපක්ෂ ඇගිලි ගනිමින් සිටියාදෝ වැනි හැගීමක් ඇති කරලමින් ය.
පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට නොගන්නේ ඇයි ?
එසේම ත්‍රස්තවාදීන් හා ගැටුමක දී හමුදා සාමාජිකයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ දැරූ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන සන්ධාන පාර්ලිමේන්ත මන්ත්‍රී පියල් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ ආරක්ෂක අංශ ක්‍රියා කර නැත.
මංගලගේ පැමිණිල්ලට මොකද වුනේ ?
මේ පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට පැමිණිල්ලක් සිදුකර ඇතත් අදටත් ඒ ගැන කිසිදු හෝඩුවාවක් හෝ නැත.
මරණ මංචක මත සැකසෙන දේශපාලන න්‍යාය පත්‍ර !
තවද "එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සජීවී රූපවාහිනී සංවාදයකදී අම්පාර දිස්ත්‍රික්කයේ මෙහෙයුමකදී හමුදා නිලධාරීන් 11 දෙනෙකු මිය ගිය බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනාව, ඔවුන්ගේ වුවමනාව, ඔවුන්ගේ කැමැත්ත හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් හෝ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් හෝ ජනතාව විශාල ප්‍රමාණයක් මිය යන ප්‍රමාණයට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සකස් කර ගැනීම" බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කර සිටියේය.
භයානක දේශපාලන අරමුණක් !
ඒ ඊයේ (29) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඉතාමත් භයානක දේශපාලන අරමුණක් ඔවුන්ට තිබෙන බවත් රූපවාහිනී සජීවී වැඩසටහනකදී මේ ප්‍රකාශයට පත් කරන්නේ සමස්ත දේශපාලන කඳවුරේම අභිලාශය බවත් එහිදී වැඩිදුරටත් ජවිපෙ නායකයා සදහන් කළේය.
"එම දේශපාලන කඳවුර ඔහු පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? ආණ්ඩුව ඔහු පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
යම් සමාජ මාධ්‍යයක විකෘති ප්‍රවෘත්තියක් ඵල කළා නම් හඹාගෙන ගොස් ඔහු අත්අඩංගුවට ගන්න ඔවුන් ක්‍රියාකරනවා. හැබැයි සජීවී රූපවාහිනී වැඩසටහනකදී එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පසුවත් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගත්තේ නැහැ.'' යනුවෙන්ද ජවිපෙ නායකත්වය වැඩිදුරටත් මේ සම්බන්ධව චෝදනා කර සිටියේය.

