ආරක්ෂාව තරකිරීමට සහය දෙනවා : හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කියයි !

ආරක්ෂාව තරකිරීමට සහය දෙනවා : හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කියයි !

සිය ඇතැම් සාමාජිකයන් සතුව මේ වන විට පවා ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තොරතුරු පවතින බැවින් රටේ ආරක්ෂාව සඳහා ඒ තොරතුරු බෙදාගැනීමට සූදානම් බව පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ පවසති.

කෙසේ වුවත් රජය ඒ ‍සම්බන්ධයෙන් මෙතෙක් තමන්ගෙන් තොරතුරු විමසා නොමැති බව හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී විමුක්ති පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තුලසි නොහොත් කේ චන්ද්‍රලිංගම් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පුනරුත්ථාපනය ලැබු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් අතර අඟහරුවාදා (අප්‍රේල් 30) යාපනයේ පැවති සාකච්ජාව ගැන බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

චන්ද්‍රලිංගම් වැඩිදුරටත් පැවසුවේ කොටි සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයින් පවා පුනරුත්ථාපනය ලබා සිටින බවය.

හිටපු එල්ටීටීඊ සාමාජිකයින් මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස ඇති අවස්ථාවක මෙරට ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අදාළ පිරිස් ඉදිරිපත් වනු ඇති බව ද ඔහු පැවසීය.

එබැවින් රජය යුද හමුදාව මඟින් හෝ සෘජුව තම සාමාජිකයින්ගේ සහයෝගය පතන්නේ නම් ඒ වෙනුවෙන් නොපැකිලිව සිය යුතුකම ඉටුකිරීමට සහ සූදානම් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

2

වර්තමානයේ රට තුළ පවතින ආරක්ෂක තත්වය හමුවේ යුද හමුදා නිළධාරීන් හා පුනරුත්ථාපනය ලැබු යාපනය දිස්ත්‍රික්කයේ ජිවත්වන හිටපු එල්ටීටීඊ සාමාජිකයින් අතර සාකච්ජාව පැවැත්වුණේ යාපනය 512 බළසේනා මූලස්ථානයේදී ය.

'සහයෝගයෙන් ක්‍රියා කරමු'

රට තුළ පවතින තත්වය හමුවේ යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව හා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ස‍හයෝගයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ජාවට ලක් වූ අතර, යාපනය දිස්ත්‍රික්කය වෙත සැක සහිත පුද්ගලයින් පැමිණ සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසට යුද හමුදා නිළධාරීහු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කෙරිණ.

එයට සහභාගි වූ යාපනය ආරක්ෂක ‍සේනා නිළධාරීන් පැවසුවේ වර්තමානයේ රට තුළ පවතින තත්වය හමුවේ රටේ ආරක්ෂාව ස්ථාපිත කිරීම වෙනුවෙන් පුනරුත්ථාපනය ලැබූ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් සමඟ සාකච්ජා කළ බවය.

3 1

 "අපි දෙපාර්ශවයක් වශයෙන් යුද වැදුනත් වර්තමානයේදී අදාළ කණ්ඩායම පුනරුත්ථාපන ක්‍රියාවලිය හරහා රට තුළ යහපත් ආකාරයෙන් ජිවත්වෙනවා. ඒ කණ්ඩායම රට රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන්න ඕනෑම අවස්ථාවක සූදානම් කියලා එහිදි ප්‍රකාශ කළා," යනුවෙන් එයට සහභාගි වූ හමුදා නිලධාරියෙක් පැවසීය.

"අපි බලාපොරොත්තු වෙනවා රටේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ කණ්ඩායම යහපත් ප්‍රතිචාර ලබාදෙයි කියලා."

යාපනය දිස්ත්‍රික්කයේ වාසය කරන ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස තමන් සමග එක්වන ලෙස යුද හමුදා නිළධාරීහු එහිදී හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් ඉල්ලීම් කළහ.

(බීබීසී)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න