1990 හදිසි ගිලන් රථ සේවය : ලංකාවම ආවරණය කරයි !

1990 හදිසි ගිලන් රථ සේවය : ලංකාවම ආවරණය කරයි !

1990 හදිසි ගිලන්රථ සේවාව මේ වන විට ලංකාවේ පළාත් 9ම ආවරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ පසුගිය ජුනි 23 වන දින හදිසි ගිලන්රථ සේවාව නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයෙහි ආරම්භ කිරීමත් සමඟය.

විශේෂ උත්සවයකදී මේ කටයුත්ත දියත්වූ  අතර  ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ආර්ථික ප්‍රතිසංස්කරණ හා සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගී වූහ. 

මේ අවස්ථාව සමඟ නිල නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය 1990 හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සම්පූර්ණ වූ බව අවධාරණය කරයි.  

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත්කළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් විශේෂ වීඩියෝ පණිවිඩයක් මගින් රැස්ව සිටි පිරිස ඇමතීය. ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඒ හා සබැඳි ඔහුගේ පෞද්ගලික සම්බන්ධතාවය ඔහු සිහිපත් කළේය. ආචාර්ය එස්. ජයශංකර් මහතා සඳහන් කළේ මෙම සේවාවම සන්නාමයක් බවට පත්ව ඇති බවයි. ගංවතුර හා මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලදී ශ්‍රී ලංකාවට මෙම සේවාව ප්‍රයෝජනවත් වූ ආකාරය ද ඔහු සිහිපත් කළේය. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එකට එක්ව ළඟා කර ගත හැකි දේ සඳහා කදිම නිදසුනක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය තුළින් ඉන්දියාව අසල්වැසි රාජ්‍යයන් සමඟ සිය සුහදත්වය බෙදා හදා ගැනීමට ඇති උනන්දුව පිළිබිඹු වන බවයි. ඉන්දියාව නිබඳවම ශ්‍රී ලංකාව වෙනුවෙන් “පළමු ප්‍රතිචාරකයා” ලෙස සිටින බව ද එතුමා ප්‍රකාශ කළේය.

හදිසි ගිලන්රථ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීම 2018 ජුලි මාසයේදී යාපනයෙන් ඇරඹිණි. ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ නවදිල්ලියේ සිට සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට එක් විය. මෙම සේවාව 2018 ජූලි මාසයේ සිට උතුරු පළාතේද, 2018 අගෝස්තු මාසයේ සිට ඌව පළාතේද, සැප්තැම්බර් මාසයේ සිට උතුරු මැද පළාතේද, ඔක්තෝබර් මාසයේ සිට වයඹ පළාතේද, නොවැම්බර් මාසයේ සිට මධ්‍යම පළාතේද 2019 ජනවාරි මාසයේ සිට සබරගමුව පළාතේද ක්‍රියාත්මක කරන ලදී.

2015 මාර්තු මාසයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවාවක් දියත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව 1990 හදිසි ගිලන් රථ සේවාව ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ දකුණු හා බස්නාහිර පළාත්වල 2016 ජූලි මාසයේදී දියත් කරන ලදී. මෙම ප්‍රදාන මඟින් ගිලන් රථ 88 ක් මිලදී ගැනීම, වසරක් සඳහා සේවයේ මෙහෙයුම් වියදම් සහ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවීම ආවරණය විය.

ව්‍යාපෘතියේ සුභවාදී බලපෑම සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි ගිලන් රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම ගිලන්රථ සේවාව ඉන්දියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත කරන බවට නිවේදනය කළේය. ගිලන්රථ 209 ක්, වසරකට සරිලන මෙහෙයුම් වියදම් සඳහා පුහුණු පිරිවැය ආවරණය වන පරිදි දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා අතිරේක ඇමරිකානු ඩොලර් මිලියන 15.02 ක් ඉන්දියාවට ලබා දී ඇත.

ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, මෙහෙයුම් වල කාර්යක්ෂමතාව සහ දේශීය පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් රැකියා සහ පුහුණුව ලබා දීම වැනි කරුණු නිසා මෙම සේවාව විශාල ලෙස අගය කිරීමට ලක් වේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම ජාලයකින් ගාස්තු රහිත ‘1990’ ඇමතීමෙන් හදිසි ගිලන්රථ සේවාව ලබා ගත හැකි අතර එය ඉන්දියානු නිවාස ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම ඉන්දියානු මූල්‍ය  ප්‍රදාන ව්‍යාපෘතිය වේ.

ශ්‍රී ලංකාවේ තේරීම් සහ ප්‍රමුඛතා මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කැපවී සිටී.

PHOTO 2019 06 23 12 27 42

PHOTO 2019 06 23 12 27 42 1

PHOTO 2019 06 23 12 34 53

PHOTO 2019 06 23 12 27 42 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න