පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දියත් කළ හමුදා විමර්ශන වලදී කිසිදු අමාත්‍යවරයකු හෝ දේශපාලනඥයකු එම කටයුතු වලට කිසිදු බලපෑමක් සිදුනොකල බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අද (26) සාක්ෂි ලබා දෙමින් හමුදාපතිවරයා මේ බව පැවසූ අතර ඒ සම්බන්ධව විශේෂ ප්‍රශ්න කිරීමක් තේරීම් කාරක සභාව විසින් සිදුකරනු ලැබිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙහිවල ප්‍රදේශයේදී බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගනුලැබූ ඉෂාන් අහමඩ් නැමැත්තකු අත්අඩංගුවට ගත්තේද යන්න සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දුරකථනයෙන් විමසා සිටි බවය.
අමාත්‍යවරයා පළමු ඇමතුම ලබාදී ඒ ගැන විමසූ අවස්ථාවේ තමන් ඒ ගැන නොදැනුවත්ව සිටි බවත් ඒ සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් පමණක් කළ බවත් හමුදාපති එහිදී පැවසීය.
අවස්ථා තුනකදී අමාත්‍යවරයා මේ ගැන විමසූ අතර තෙවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම තහවුරු කළ බවත් හමුදාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයට හෝ පොලිසියට භාරදීම අනිවාර්යක් බැවින් තමන් තවත් වසර 1 1/2 කින් පමණ ඇමතුමක් දෙන ලෙස අමාත්‍යවරයා ට පැවසුවේ අනතුරුව සිදුවන ක්‍රියාදාමය තුළ සැකකරුවන් එපමණ කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට අවස්ථාව තිබූ නිසා බවත් හමුදාපති පැවසීය.
එහෙත් ඒ කිසිම අවස්ථාවක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තමන්ට කිසිදු බලපෑමක් නොකළ බවත් ඉතා සුහදව අදාල සිදුවීම සම්බන්ධව සොයා බලන ලෙස කළ ඉල්ලීමක් පමණක් වූ බවත් හමුදාපතිවරයා සදහන් කළේය.
රිෂාඩ්ට වැදුණේ ජාතිවාදී මඩක් !
කෙසේ වුවත් හමුදාපති මහේෂ් සේනානායක සිළුමිණ පුවත්පතට පවසා තිබු ප්‍රකාශයක් පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ අවධාරණය කර සිටියේ රිෂාඩ් අමාත්‍යවරයා හමුදා විමර්ශන ව්ලට බලපෑම් කර ඇති බවය.
එසේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමටද ඔවුන් එම ප්‍රකාශය ප්‍රධාන කරගෙන තිබිණ.
එහෙත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද ලබාදුන් සාක්ෂි අනුව පෙන්නුම් කරන්නේ එවැනි කිසිදු බලපෑමක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිදුකර නොමැති බවය.

