Language Switcher

V2025

ජනාධිපති ධූර කාලය දැනගන්න : සිරිසේන යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

2020 මැයි මාසය දක්වා ජනාධිපති සිරිසේනට සිය ධූර කාලය දැරියහැකි නොවේදැයි ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමක් නැවත සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.

මේ බව අනාවරණය කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින්ය.

පසුගියදා පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කල අතර අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපතිට යෝජනා කරන බවද ඔහු එහිදී පැවසීය.

මෙම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ ජනාධිපති සිරිසේන ලක්ෂ 64 ක ජනවරමක් ලබා ඇත්තේ වසර 6ක් සඳහා බවත් එබැවින් එම වසර 6 නැතත් 5ක් හෝ ඔහුට නියමිත ධූර කාලය හිමිවිය යුතු බවය. ඒ අනුව පාර්ලිමේන්තු පනතක් නීතියක් බවට පත්වන්නේ කතානායකගේ අත්සන යෙදීමෙන් පසුව වන බවත් එබැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 5ක් නම් එය එළඹෙන මැයි මාසය දක්වා තිබිය යුතු බවත් ඔහු පැවසීය.

2018 ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුව දේ !

මීට පෙර එනම් 2018 වසරේ ජනවාරි මාසයේද ජනාධිපති සිරිසේන සිය ධූර කාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා අපට මතකය. එහිදී ජනාධිපති විමසා සිටියේ "සිය ධුර කාලය අවසන් වන්නේ 2020 වසරේද ? නැත්නම් 2021 වසරේද?" යන්නය.

මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විමසා බැලුණු අතර එහි ප්‍රධානියා ලෙස එවකට අගවිනිසුරුවරයා කටයුතු කළ ප්‍රියසාද් ඩෙප් කටයුතු කළේය. අනෙක් විනිසුරුවරුන් වූයේ ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත්‍රසිරි, සහ සිසිර ද ආබෘෘ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව !

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී සිටියේ එකී ධුර කාලය වසර 05 ක් වන බවය.

මීට අදාළව එවකට නීතිපති (වත්මන් අගවිනිසුරු ) ජයන්ත ජයසූරිය තර්ක කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල කාලය 19 වන සංශෝධනය සම්මත කිරීමට පෙර ආරම්භ කර ඇති හෙයින් එම සංශෝධනයේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකට සීමා කරනු ලැබීම ඔහුට බල නොපාන බවය.
ඔහු මෙසේ තර්ක කර සිටියේ 19 වන සංශෝධනයේ 49 වන වගන්තියේ පැහැදිලිවම “සැක දුරු කිරීම සඳහා“ යැයි විශේෂයෙන්ම සඳහන් කරමින් “2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය දරණ තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව එම ධූර දැරිය යුතු වන්නේ ය.“ යනුවෙන් සහ , “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය“ කියා 3 වන වගන්තියේ සඳහන් කර තිබියදීය.

ඒ අනුව එදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුව නම් එහි පිළිගැනීම වී ඇත්තේ 2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 මැයි මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු විය යුතු බවය.

එම සංශෝධනයේ තුන් වෙනි ඡේදය මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 30 වගන්තිය ඉවත් කොට ආදේශ කරන ලද (2) උප වගන්තිය මගින් එම අදාළ අඩු කිරීම සිදු කරනු ලැබ ඇත.

එහි මෙසේ සඳහන් වෙයි.

"ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය" (30 (2) උපවගන්තිය)

ඒ අතරම , එම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 45 (ආ) වගන්තියේ මෙසේ දැක්වෙයි.

"2015 අප්‍රියෙල් මාස 22 වන දිනට පෙර පිළිවෙළින් ජනාධිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධූර දැරිය යුතු වන්නේය" (අන්තර්කාලීන විධිවිධාන 49 (ආ))

සිරිසේන ජනාධිපති අසරණයි !

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) එකී පාර්ශවයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර හමාරය. ඒ අපේක්ෂකයා කවුද යන්න එළඹෙන අගෝස්තු 11 වනදා පොහොට්ටුවේ පක්ෂ සම්මේලනයේදී අනාවරණය කිරීමට නියමිත බවත් ඔවුන් සඳහන් කරයි.

අනෙක් අතට එක්සත් ජාතික පෙරමුණද වඩාත් පුළුල් පෙරමුණක් සහිතව එනම් උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ ප්‍රධාන පක්ෂ රැසක් එකතුකරගත් නව සන්ධානයක් අගෝස්තු 05 වනදා වන විට බිහිකිරීමේ සූදානමින් පසුවෙයි. එහිදී ඉදිරිපත් කරන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ සහ එහි සන්ධානගත පක්ෂ අතර එකඟතාවයෙන් යුතුව ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

ජනාධිපති සිරිසේන ද මෙවර ජනාධිපතිවරණය සඳහා සූදානමින් සිටියි. ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ සමඟ සන්ධානයක් සඳහා සාකච්ඡා සිදුකළත් එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. ඒ හමුවේ සිරිසේන ජනාධිපති අන්ත අසරණව සිටින අතර නමට හෝ සන්ධානයක් ඇතිකර ගන්නට ප්‍රධාන පෙලේ පක්ෂ කිසිවක් ඔහුට නැත.

අවසන් සටනට සැරසෙයි : අගවිනිසුරු ජයන්ත !

අනෙක් අතට ජනාධිපති සිරිසේන සතුව කිසිඳු ජන ප්‍රසාදයක්ද නොමැත. මේ හමුවේ අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන සිය ධූර කාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් නැවත සිදුකර යළිත් වියවුලක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බවය.

එහිදී එළබෙන මැයි මාසය දක්වා වසර 5ක ධූර කාලය තිබෙන බවට නගා ඇති තර්කය පසුගිය අවස්ථා වලදී සිරිසේන ජනාධිපතිගේ පාර්ශවයෙන් ඉදිරිපත්වූ අතිශය දුර්වල නීති තර්කයන්ගේම තවත් දිගුවක් පමණක් බවත් 19 ප්‍රකාරව නියත වශයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති පෙන්වාදී ඇති ආකාරයට නොවැම්බර්- දෙසැම්බර් කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්යයක් බවත් විචාරක අදහස වී තිබේ.

ඉතා පැහැදිළි ව්‍යවස්ථා වගන්ති ඉතාම නිර්ලජ්ජිත ආකාරයට විකෘති කරමින් පසුගිය කාලයේ ගොඩනැගු තර්ක හමුවේ නීති සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ පමණක් නොව සාමාන්‍ය ජනතාව අතර පවා ජනාධිපති සිරිසේන හාස්‍යට ලක්වූ බවත් ඔවුන් සිහිපත් කරන අතර ජනාධිපතිවරණයක් ආසන්නයේ යළිත් එවැනි අවධානමක් ගැනීම නොසුදුසු බවත් ඔවුන් සඳහන් කරයි.

එසේම 2018 වසරේ ජනාධිපති සිරිසේනගේ ධූර කාලය සම්බන්ධව වසර 6ක තර්කය වෙනුවෙන් පෙනී සිටි එවකට නීතිපති ජයන්ත ජයසූරිය මේ වන විට අගවිනිසුරු බැවින් ඒ පත්වීම හරහා කිසියම් වාසියක් ගැනීමට සිරිසේන ජනාධිපතිගේ පාර්ශවය අපේක්ෂා කරනවා විය හැකි බවත් නමුත් ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ තීන්දුවක් ලැබීමට කිසිඳු ඉඩක් නොමැති බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.