ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධියට පත්කරන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන 12 වැනිදා සිට මැතිවරණ ප‍්‍රචාරණ වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසා තිබේ.
දිවයින වාර්තා කරන්නේ ඊයේ (23) විපක්ෂ නායක මහින්ද මේ බව සඳහන් කළ බවයි.
ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ග නිසා කලකිරුණු ජනතාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා දැන ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බවත් එබැවින් තම පාර්ශවයේ අපේක්‍ෂකයා ලබන 11 වැනිදා කැලණි රජමහා විහාරයට, අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ හා මහනුවර ගොස් දළදා වහන්සේ වැඳපුදා ගෙන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශිර්වාදය ලබාගෙන මැතිවරණ සටන ක‍්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ වන තෙක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා හෙළිකර නැති බව මෙන්ම ජනාධිපතිවරණයට දින නියම කළත් නොකළත් ජනතාව අද මුහුණපා සිටින තත්ත්වය අනුව මැතිවරණ ප‍්‍රචාරණ වැඩකටයුතු පුළුල් කරන බවද ඔහු පැවසී යැයිද එම පුවතේ සඳහන්ව ඇත.
ගෝඨාගේ නම මහින්ද කියයිද ?
මේ අතර පොහොට්ටු පාර්ශවයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ තවත් 4 දෙනෙකුගේ නම් එම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා යෝජනාවී තිබෙන බවය.
එසේම ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළ නමුත් පක්ෂයේ බහුතරයක අපේක්ෂාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වෙත අපේක්ෂකත්වය ලබාදීම බවද එම ආරංචිමාර්ග සඳහන් කල අතර කෙසේ වුවත් විපක්ෂ නායකවරයා නම් කරන කවර අපේක්ෂකයාව වුවත් ජයග්‍රහණය කරවීමට පක්ෂය තීරණය කර ඇති බවත් සඳහන්ය.
තවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇති අතර ඒ නඩුවේ ඉදිරි කටයුතුද ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධව බලපෑමක් සිදුකරනු ඇති බවට සැකයක් මේ වන විට මතුව ඇති බවය.
එසේ වුවහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධවද මේ වන විට අවධානය යොමුකර ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

