එජාස විශේෂ නියෝජිතයාට : විනිසුරුවරුන් හමුවීමට දෙන්න එපා - කතානායක

එජාස විශේෂ නියෝජිතයාට : විනිසුරුවරුන් හමුවීමට දෙන්න එපා - කතානායක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු විසින් සිදුකරන ලද ඉල්ලීමක් පරිදි අගවිනිසුරුවරයා හා මහාධිකරණ විනිසුරුවන් හමුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු විසින් අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරීම , නොකළ යුතුබව සිය මතය යැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් ඊයේ (24) දිනයේදී අධිකරණ ඇමැතිවරිය, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවා සාකච්ඡා කළ බවත් මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට වග බලාගැනීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් කතානායකවරයා සඳහන් කෙළේය.

කතානායක කරූ ජයසූරිය මේ බව සඳහන් කෙළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු හට මෙරට අගවිනිසුරු, මහාධිකරණ විනිසුරුවන් කිහිප දෙනකු හමුවීම සඳහා අවස්ථාවක් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් මැදිහත්ව ඇති බවට විපක්ෂනායකවරයා , ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිදුකළ සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් නිවේදනය කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය,

ඊයේ දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන මහතා සහ විමල් විරවංශ ඇතුළු මන්ත්‍රිවරුන් විසින් මතු කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නයලෙට්සෝසි වොයෙල් මහතා හට අගවිනිසුරු තුමා සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සඳහා අවස්ථාවව සැලසීම සම්බන්ධයෙන් මා විසින් කරුණු සොයා බැලුවෙමි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අහමඩ් ඒ ජාවිඩ් මහතා ගේ ඉල්ලීම පරිදි අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලිමක් කොට ඇතිබව මා හට දැනගන්නට ලැබුණි.

මේ පිළිබඳ මගේ අදහස වනුයේ අදාල නිළධාරීන් විසින් එක්සත් ජාතිගේ විශේෂ නියෝජිත විසින් කරන ලද ඉල්ලීම පරිද මෙවැනි අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරිම නොකළ යුතු බවයි.

ඒ අනුව එම අවස්ථාවේදීම ගරු අධිකරණ අමාත්‍යතුමියටත් , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හටත්, මෙම කරුණු පිළිබඳ දැනුවත් කොට වහාම සුදුසු පියවර ගන්නා ලෙස මා විසින් දන්වනු ලැබු වෙමි.

ඒ අනූව මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සිදු නොවන බව දැන ගතිමි. අතීතයේදීද මෙබදු රාජ්‍ය තාන්ත්‍රිකයන් අගවිනිසුරුතුමන්ලා සමඟ සුහද හමුවීම් පැවැත්වී ඇති බවද දන්වනු කැමැත්තෙමි.

මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරිම සඳහා අද දින ගරු අධිකරණ අමාත්‍යතුමියත් , අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමාත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඇතුළු නිළධාරීන් මා හමු වූ බවත් ඉදිරියේ දී මෙවැනි දෑ සිදු නොවීමට වගබලා ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත්, වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න