රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද(29) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ අද (29) කැඳවනු ලැබීය.
එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් හැටන් නැෂනල් බැංකුව , මහජන බැංකුව , සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම යනාදී සමාගම්වල ප්‍රධාන ශාඛා මඟින් නිකුත් කළ ලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා එම ආයතන තමන්ට මෙතෙක් අවසර ලබාදී නොමැති බවත්ය .
එහිදී විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විත්ති නීතිඥවරුන්ට දැනුම් දුන්නේ පරික්ෂා කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද යන්න පිළිබඳව තමන් වෙත දැනුම් දෙන ලෙසය.
ඉන් අනතුරුව ඒවා පරික්ෂා කිරීමට අවශ්‍ය සුදුසු නියෝග අදාළ ආයතන වෙත ලබා දීමට කටයුතු කරන බවද විනිසුරු හෙට්ටිආරච්චි සඳහන් කළේය.
ඒ අනුව මෙම කටයුත්ත සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සදහා නඩුව නැවත අගෝස්තු මස 8 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 70 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

